Gossips

රොනී ලීච් ගේ දේහය පිළිබඳව අවසන් කටයුතු සිදුවන්නේ මෙහෙමයි

ඕස්ට්‍රේලියාවේදී හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය ගායන ශිල්පී සහ රංගන ශිල්පී රොනී ලීච් ගේ දේහය හෙට (10) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමය පවසනවා.
එහි සභාපති කීර්ති පැස්කුවල් සිය සමාජ මාධ්‍ය ගිණුමේ විශේෂ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.
හෙට ශ්‍රී ලංකාවට රැගෙන එන රොනී ලීච් මහතාගේ දේහය එදින සවස 6.30 සිට රාත්‍රි 10 දක්වාත් 11 වන බ්‍රහස්පතින්දා උදැසන 8 සිට දහවල් 2 දක්වාත් කොළඹ පිහිටි පෞද්ගලික මල් ශාලාවක මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරෙනු ඇති.
පසුව (11දා) සවස 2ට එම ස්ථානයේ සිට ඒ මහතාගේ දේහය ගල්කිස්ස ක්‍රයිස්ට් චර්ච් (Christ church) දේවස්ථානයට රැගෙන යාමටයි සැලසුම් කර ඇත්තේ.
ඉන් අනතුරැව පැවැත්වෙන දේව මෙහෙයෙන් පසුව රොනී ලීච් මහතාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු ගල්කිස්ස පොදු සුසාන භූමියෙදී සිදුකෙරෙනු ඇති බවයි එම සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච් පසුගිය 1 වනදා අලුයම ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වුණා.
ඔහු මියයනවිට පසුවුණේ 65 වන වියේයි.
1973 වසරේ ගායන ක්‍ෂේත්‍රයට පිවිසි ඔහු 1981 වසරේදී සුපර් ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායමට ගායකයෙකු ලෙස එක්වුණා.
රංගන ශිල්පියෙකු ලෙසද රසික හදවත් දිනාගත් ඔහු ඈතින් ඈතට සහ යළි හමුවෙන්නයි ඇතුලු චිත්‍රපට රැසකට රංගන දායකත්වය ලබාදී තිබෙනවා.
මියයනවිට දෙදරු පියෙකු වූ රොනී ලීච් දෙහිවල – නැදිමාල ප්‍රදේශයේදී උපත ලැබුවේ 1953 වසරේ ඔක්තෝම්බර් 19 වනදායි.
රොනී ලීච් ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ පසුගිය සෙනසුරාදා සංදර්ශනයකට සහභාගිවී ඇති අතර, පසුගිය 1 වනදා පස්වරුවේ යළි දිවයිනට පැමිණීමට සූදානම්ව සිට තිබෙනවා.
ඒ අතරතුර ඇතිවූ හදිසි හෘදයාබාධයකින් ඔහු මියගොස් ඇති බවයි ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.