Gossips

රේගු වර්ජනය නිසා ආහාර හිඟයක් ගැන, ආනයනකරුවන්ගෙන් අනතුරු ඇගවීමක්

රේගු නිලධාරීන්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් මතුවිය හැකි බවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සහ වෙළඳුන්ගේ සංගමය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් පැවතුණහොත් මෙම තත්ත්වය වැළැක්විය නොහැකි වනු ඇති බවයි.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් රේගුවට ලැබිය යුතු ආදායමද මේ වනවිට සියයට 65 කින් පමණ අඩු වී තිබෙනවා.
කෙසේ වෙතත්, රේගු අධිකාරීවරුන්ගේ සංගමයේ සභාපති උදිත ජයසිංහ කියා සිටියේ සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බවයි.
කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය භාණ්ඩ නිකුත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බවද ඔහු ප්‍රකාශ කළා.
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිවයි රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පසුගිය 29 වනදා පස්වරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ.
රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය, රේගු අධිකාරී සංගමය, රේගු නිලධාරීන්ගේ සංගමය, බහාළුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය සහ රේගු නිෂ්කාශණය කරන්නන්ගේ සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව සිටිනවා.
මේ අතර, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පවා ඉහළ යා හැකි බවයි.
එවැනි තත්ත්වයක් රට තුළ උදා වුවහොත් එහි වගකීම සම්පූර්ණයෙන්ම රජය භාර ගත යුතු බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.
රජය පත්වූ අවස්ථාවේ සිටම රටට සහ ජනතාවට අහිතකර තීන්දු, තීරණ ගැනීම, පුරුද්දක් ලෙස කරගෙන යමින් සිටින බව ද රහසක් නොවන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.
ජනාධිපතිවරයාගේ අදහස්වලට ද ඇහුන්කන් නොදී මේ ආකාරයේ හිතුවක්කාරී ලෙස රජය කටයුතු කිරීම පිළිබද පැති කිහිපයකින් සැක මතු වන බව ද විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.
පසුගිය වසර දෙක, තුන තුළ රේගු දෙපාර්තමේන්තුවේ ද ඇතැම් වංචා හා දූෂණ සිදුවී ඇති බව වාර්තා වන බවත්, එම වංචා පිටුපස දේශපාලනඥයින් සිටින බවට රේගු නිලධාරීන් ප්‍රකාශ කර ඇති බව ද විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වුණා.
විශේෂයෙන් පසුගිය වසර 04ක තුළ රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට 04 දෙනෙකු පත් කිරීමෙන් මෙම අර්බුදකාරී තත්ත්වය කෙතරම් බරපතල දැයි අනාවරණ වන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කර තිබෙනවා.