Gossips

රේගු වර්ජනයෙන් අහිමිවූ මුදල තක්සේරු කර නැහැ

රේගු වර්ජනය හරහා රටට අහිමි වූ මුදල තක්සේරු කර නොමැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා.
එම අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටි අතර, එහිදී ඔහු සඳහන් කළේ රටට විදේශ විනිමය අහිමිවන ප්‍රධාන ජාවාරම් දෙකක් ලෙස ගම්මිරිස් සහ පුවක් හැඳින්විය හැකි බවයි.
එම ජාවාරම්වලට වත්මන් රජයේ පුද්ගලයින්ද සම්බන්ධ බවයි එහිදී අමාත්‍යවරයා කියා සිටියේ.
එම මාධ්‍ය හමුවට පෙර ධුරයෙන් ඉවත් කළ රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්.චාල්ස් මුදල් අමාත්‍යාංශයට පැමිණ මුදල් අමාත්‍යවරයා මුණ ගැසුණු අතර, ඇයද ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්ව සිටියා.
රේගු වෘත්තීය සමිති සතියක් පුරා දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රුපියල් බිලියන 12කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි එම වෘත්තීය සමිති ප්‍රකාශ කළා.
රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් සුදත් ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ බහාලූම් 7000 කට වැඩි ප්‍රමාණයක් මේ වනවිටත් කොළඹ වරායේ සිරවී ඇති බවයි.
ධුරයෙන් ඉවත් කළ රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්.චාල්ස් යළි එම ධුරයට පත් කරන ලෙස ඉල්ලා රේගු වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබුවේ පසුගිය මස 30 වනදායි.
කෙසේ වෙතත්, ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඇය එම ධුරයෙන් ඉවත් කිරීමට ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉල්ලා අස් කර ගැනීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර කටයුතු කළ අතර, ඒ සමගම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට රේගු වෘත්තීය සමිති පියවර ගනු ලැබුවා.