Gossips

රේගුව තවමත් අකුරට වැඩ – සාමාන්‍ය සේවාත් නවතා දමන බවට අනතුරු අගවයි

උද්ගතව ඇති ගැටළුවට ආණ්ඩුව කඩිනම් විසදුමක් ලබානොදුනහොත් සාමාන්‍ය සේවා කටයුතුවලින් ද ඉවත් වීමට සිදුවන බව රේගු වෘත්තීය සමිති අනතුරු අගවනවා.
රේගුවේ සියළු වෘත්තීය සමිති ඒකාබද්ධව කොළඹ අද සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් සුදත් ද සිල්වා මේ බව ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ රේගුවේ කටයුතුවලට පවතින දේශපාලන බලපෑම් දිනෙන් දින ඉහළ යමින් පවතින බවයි.
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය හදිසියේ ස්ථාන මාරු කර ඒ වෙනුවට විශ්‍රාම ලත් නාවික හමුදා නිලධාරියෙකු පත් කිරීමට විරෝධය පළ කරමින් රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තුන් වන දිනටත් අද අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා.
රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය, රේගු අධිකාරී සංගමය, රේගු නිලධාරීන්ගේ සංගමය, රේගු බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය මෙන්ම රේගු නිශ්කාෂණය කරන්නන්ගේ සංගමය ද මෙම වර්ජනයට එක්ව සිටිනවා.
රේගුවේ ආනයන අංශය සහ විමර්ශන අංශයේ කටයුතු මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් සියයට 75කින් පමණ බිද වැටී ඇති අතර, බිලියන 3කට ආසන්න දෛනික රේගු ආදායම අහිමි වීමේ තත්ත්වයක් උද්ගතව තිබෙනවා.
කෙසේ වෙතත්, කටුනායක ගුවන් තොටුපල, කොළඹ වරායේ මගී සේවා සහ අපනයන අංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන අතර, කඩිනම් විසඳුමක් නොලැබුනහොත් එම අංශවලද අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරන්නේ.