Gossips

රේගුව තවදුරටත් අඩාලයි – ආනයන කටයුතු බිඳ වැටේ

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව රේගුවේ සේවකයන් ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මකයි.
ඒ අනුව ආනයන සහ විමර්ශන අංශවල සාමාන්‍ය සේවා කටයුතු සියයට 75 ක පමණ ප්‍රතිශතයකින් බිඳ වැටී ඇති බවයි වාර්තාවන්නේ.
මෙම තත්ත්වය මත භාණ්ඩ ආනයනය කිරීම මත අයකරනු ලබන බදුවලින් මෙරටට ලැබෙන රුපියල් බිලියන 3 ත් 4 ත් අතර දෛනික ආදායමට දැඩි බලපෑමක් එල්ලවීමේ තත්ත්වයක් උද්ගතව තිබෙනවා.
කෙසේ වෙතත් කටුනායක ගුවන්තොටුපළ, කොළඹ වරායේ මගී සේවා සහ අපනයන අංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන අතර, කඩිනම් විසඳුමක් නොලැබුණහොත් එම අංශවලටද අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය ව්‍යාප්ත කිරීමටයි රේගු වෘත්තිය සමිති තීරණය කර ඇත්තේ.
රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කරන පී.එස්.එම්. චාල්ස්ට ස්ථාන මාරුවීමක් ලබාදී ඇති බව පවසමින් රේගු සේවකයන් වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කළේ ඊයේ පස්වරු 3 ට පමණයි.
රේගුවේ සේවකයන් චෝදනා කළේ පරිපාලන සේවයේ හෝ රේගු සේවයේ නිලධාරියෙකු අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවද එය උල්ලංඝනය කරමින් බලධාරීන් විසින් විශ්‍රාමලත් නාවික හමුදා නිලධාරියෙකු අදාළ තනතුරට පත් කිරීමට සූදානම් වන බවටයි.
එම පත්වීම පිළිගැනීමට සූදානම් නොමැති බවද වෘත්තිය සමිති ප්‍රකාශ කළා.
රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය, රේගු අධිකාරී සංගමය, රේගු නිලධාරීන්ගේ සංගමය, බහලූම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය සහ රේගු නිශ්කාෂනය කරන්නන්ගේ සංගමය මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව සිටිනවා.
රේගු අධිකාරීවරුන්ගේ සංගමයේ සභාපති උදිත ජයසිංහ ප්‍රකාශ කළේ අද පස්වරුවේ ජනාධිපතිවරයා මුණගැසී උද්ගතව පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි. ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරනු ලබන්නේ ඉන් පසුව බවත්, ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර රේගුව ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ මෙම වර්ජනය සිදුකරන්නේ පෞද්ගලික කාරණා මුල් කරගෙන බවයි.