Gossips

රේගුව, තවදුරටත් අකුරට වැඩ – ආදායම සියයට 65 කින් පහළට

සිය වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් රේගුවට ලැබිය යුතු ආදායම සියයට 65 කින් පමණ අඩු වී ඇති බව රේගු අධිකාරීවරුන්ගේ සංගමයේ සභාපති උදිත ජයසිංහ ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 04 වන දිනටත් ක්‍රියාත්මක බවයි.
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්.චාල්ස් ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිවයි රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පසුගිය 29 වනදා පස්වරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ.
රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය, රේගු අධිකාරී සංගමය, රේගු නිලධාරීන්ගේ සංගමය, බහාළුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය සහ රේගු නිෂ්කාශණය කරන්නන්ගේ සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව සිටිනවා.
කෙසේ වෙතත්, කටුනායක ගුවන් තොටුපල, කොළඹ වරායේ මගී සේවා සහ අපනයන අංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන අතර, කඩිනම් විසඳුමක් නොලැබුනහොත් එම අංශවලද අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරන්නේ.