Gossips

රුපියල 166 ත් පන්නයි – කොටස් වෙළඳපලත් පහළට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් පහත වැටෙමින් රුපියල් 166 ද ඉක්මවා තිබෙනවා.
ශ්‍රී ලංකා මහබැංකුවේ ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 166යි ශත 64ක් ලෙසයි.
මේ වසරේදී මේ දක්වා රුපියලේ අගය සියයට 7කින් පමණ පහත වැටී ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
එසේම මාස 18 කට පසු කොළඹ කොටස් වෙළඳපල සියලූ කොටස් මිල දර්ශකය අද ඒකක 6,000ට අඩු අගයක් වාර්තා කළා.
පෙර දිනට සාපේක්ෂව එය ඒකක 57.28 කින් පහත වැටුණු අතර, දිනය අවසානයේ සටහන් වුණේ 5971.21 ක් ලෙසයි.
මේ අතර ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණ වීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවලදීද අදහස් පළවුණා.
එක්සත් ජාතික පක්ෂය සිරිකොත පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල කියා සිටියේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියලේ අවප්‍රමාණය තවමත් අඩු මට්ටමක පවතින බවයි.
ඒකාබද්ධ විපක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධනද රුපියලේ අවප්‍රමාණය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ රුපියල අවප්‍රමාණ වීම හේතුවෙන් පසුගිය වසර 4 ක කාලය තුළ රටේ ණය බර රුපියල් බිලියන දහසකට වඩා වැඩියෙන් ඉහළ ගොස් ඇති බවයි.