Gossips

රුපියල ගැන අනාවැකි නැතැයි මහ බැංකුව කියයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් කොපමණ ප්‍රමාණයකින් අවප්‍රමාණ වන්නේදැයි ප්‍රකාශ කළ නොහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා රජය මෙතෙක් ගත් පියවර ප්‍රමාණවත් බවයි මහබැංකුවේ නවතම මූල්‍ය විවරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා මහබැංකු පරිශ්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
මේ අතර අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ගෙවනු ලබන පොලී අනුපාත අඩුවිය හැකි බවට නවතම විගණන වාර්තාව ප්‍රකාශයට පත් කරමින් රජයේ විගණකාධිපතිවරයා අනතුරු අඟවා තිබෙනවා.
එම විගණන වාර්තාවට රජයේ විගණකාධිපතිවරයා පදනම් කරගෙන ඇත්තේ එම අරමුදලේ 2016 වර්ෂයේ වාර්ෂික වාර්තාවයි.
සේවක අර්ථසාධක අරමුදලට අනුයුක්ත කර සිටින ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ගේ සේවා නියුක්ති ආදායම මතවූ උපයන විට බදු ගෙවා ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලෙන් බවයි එමඟින් දක්වා ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මහබැංකු අධිපතිවරයාගෙන් ප්‍රශ්ණ කළා.
එහිදී ඔහු කියා සිටියේ ඊට අදාළව මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි.