Gossips

රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ව්‍යාපෘතියක් ගැන පරීක්ෂණයක් ඇරඹේ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන කණ්ඩායමක්, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
2013 වසරේ ආරම්භ කර ඇති මෙම ව්‍යාපෘතිය මගින් එම මධ්‍යස්ථානයේ කටයුතු වැඩි දියුණු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
ඩොලර් මිලියන 28 ක නෙදර්ලන්ත ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය වසර දෙකකින් අවසන් වීමට නියමිතව තිබුණ ද එය මෙතෙක් අවසන් වී නැහැ.
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට මීට මාස 6 කට පෙර අධ්‍යක්ෂවරයා ලෙස පත් කරනු ලැබූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පැමිණිලි කර තිබෙනවා.
අදාල ව්‍යාපෘතියේදී මිලදී ගෙන ඇති ඇතැම් උපකරණ වලට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය මිලදී ගැනීමේදී සමාගම්වලට ඒකාධිකාරයක් පවත්වාගෙන යාමට ඉඩ සලසා ඇති බවයි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.
මේ අතර, දකුණු පළාතේ පැතිර ගිය ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව ඇති බව දකුණු පළාතේ සෞඛ්‍ය බලධාරින් පවසනවා.
පසුගිය අප්‍රේල් මාසයේ සිට රෝගීන් 2000 ක් පමණ ඉන්ෆ්ලුවෙන්සා රෝගයට නේවාසිකව ප්‍රතිකාර ලබා ගෙන ඇති බවයි දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය කියා සිටියේ.
ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳීම හේතුවෙන් කුඩා දරුවන් 18 දෙනෙකු සහ වැඩිහිටියන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
කෙසේ වෙතත්, දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය කියා සිටියේ මෙම රෝගී තත්ත්වය නැවත පැතිරීමේ අවධානමක් පවතින බවයි.