Gossips

රිය අනතුරුවලින් 10 ක් ජීවිතක්ෂයට (ඡායාරූප)

ගතවු පැය කිහිපය තුල සිදුවු රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
කල්කුඩා, මීරිගම, කොච්චිකඩේ, කැකිරාව, ගොඩකවෙල, මහව, මින්නේරිය සහ කොස්ගම ප්‍රදේශවලදීයි අනතුරු සිදුවී ඇත්තේ.
මින්නේරිය නගරයේදී මෝටර් රථයක් ගසක ගැටී අද අලූයම සිදුවු අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මහනුවර සිට කදුරුවෙල බලා ගමන්ගත් මෝටර් රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී එක් අනතුරක් සිදුව ඇති බවයි.
අනතුරෙන් මෝටර් රථයේ ගමන්ගත් තවත් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා පොලොන්නරුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කදුරුවෙල මුස්ලිම් කොලනියේ පදිංචි 23 හැවිරිදි තරුණයන් දෙදෙනෙක්.
මේ අතර රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ කොස්වැටිය විහාරස්ථානය අසලදී ඊයේ රාත්‍රී 11.30 ට පමණ සිදුවු අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුනා.
ඒ ඔවුන් ගමන් කළ යතුරුපැදිය බස් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන්.
බරපතල තුවාල ලැබු තරුණයන් දෙදෙනා පල්ලෙබැද්ද රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්වුයේ අගුණුකොලපැලැස්ස ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක් සහ නෙලුව කඩිහින්ගල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි අයෙක්.
බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර පාදෙණිය අනුරාධපුර මාර්ගයේ කැත්තපහුව ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටීමෙන් මාර්ගය හරහා ගිය පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රී 8.40 ට පමණ අනතුර සිදුව ඇති අතර බරපතල තුවාල ලැබු ඔහු අඹන්පොල රෝහලට ඇතුලත් කිරීමේදී මරණයට පත්වුනා.
මියගොස් ඇත්තේ රාගම මගුල්පොකුණ ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි අයෙක්.
අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ සවස 5 ට පමණ තවත් අනතුරක් සිදුවී ඇත්තේ කොස්ගම පූගොඩ මාර්ගයේ කහව ප්‍රදේශයේදීයි.
ලොරියක පිටුපස ගමන් කළ පුද්ගලයෙකු ඉන් ඇද වැටී එම ලොරියේම පිටුපස රෝදයට යටවී මියගොස් තිබුනා.
ඔහු කොස්ගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්.
අනතුරින් පසු ලොරි රථය පළාගොස් තිබු අතර සැකකාර රියදුරා සැගව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.
මේ අතර කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් සහ ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුවු අතර එහිදී ත්‍රී රෝද රථයේ රියදුරා මරණයට පත්වුනා.
ඔහු දඹුල්ල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි අයෙක් වන අතර කැබ් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර කෙටි ආහාර වර්ග අලෙවි කරන ත්‍රී රෝද රථයක් පාලනය කර ගැනීමට නොහැකිව පෙරලී යාමෙන් එහි රියදුරා ජීවිතක්ෂයට පත්වුනා.
ඊයේ මෙම අනතුර සිදුවුයේ කොච්චිකඩේ ප්‍රදේශයේ අතුරු මාර්ගයකදීයි.
මියගොස් ඇත්තේ 35 හැවිරිදි පුද්ගලයෙක්.
මේ අතර මීරිගම ප්‍රදේශයේදී ජීප් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ගමන් කළ පදිකයෙකු හා ගැටී අනතුරුව තාප්පයකද ගැටී අනතුරක් සිදුවුනා.
එහිදී තුවාල ලැබු පදිකයා සහ ජීප් රථයේ රියදුරා මීරිගම රෝහලට ඇතුලත් කිරීමේදී පදිකයා මරණයට පත්වු බවයි පොලිසිය කියාසිටියේ.
ඔහු මීරිගම ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක්.
මේ අතර කල්කුඩා පාසිකුඩා මාර්ගයේ ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන සූර්ය බලශක්ති කුලුණක ගැටීමෙන් එම යතුරුපැදියේ ගමන් කළ පසුපැදිකරු මරණයට පත්ව තිබෙනවා.
යතුරුපැදිය පැදවු පුද්ගලයා වාලච්චේන රෝහලේ ප්‍රතිකාර ලබනවා.
-මින්නේරිය නගරයේ රිය අනතුර-

ඡායාරූප – පොළොන්නරුව රොෂාන් තුෂාර