Gossips

රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේට රහස් පොලිසියේ පෙනී සිටින්නැයි නියෝග

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේට අධිකරණය අද(22) නියෝග කළා.
ඒ අනුව කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ මාර්තු මස 05 වනදා මෙලෙස රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසටයි.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන ලෙසට විත්තියේ නිතීඥවරයා කළ ඉල්ලීම ද මහේස්ත්‍රාත්වරිය අද(22) ප්‍රතික්ෂේප කළා.
පසුගිය 08 වනදා මෙම නඩුව කැදවූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම විමර්ශණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙසටයි.
එහි තීන්දුව ලබාදෙමින් මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ පරීක්ෂණ කටයුතු වෙනත් අංශයකට පැවරීමේ නියෝගයක් කිරීමට නීතිමය හැකියාවක් අධිකරණයට නොමැති බවයි.
එමෙන්ම තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා මාර්තු මස 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.
එමෙන්ම මොවුන් දෙදෙනාට එරෙහිව මිනීමැරුම් චෝදනාව යටතේ නඩු පැවරීම සිදු නොකරන ලෙසට සැකකරුවන්ගේ නීතිඥයන් කළ ඉල්ලීමද මහේස්ත්‍රාත්වරිය අද(22) ප්‍රතික්ෂේප කළා.
මෙම නඩුවට අදාලව දැනට ඇප නියම වී සිටින හිටපු නාවික හමුදා ප්‍රකාශක කොමදෝරු ඞී.කේ.පී. දසනායක ඇතුළු 07 දෙනාට මැයි මස 03 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි ඇය නියෝග කළේ.
2008 – 2009 කාල වකවානුවේ තරුණයින් 11 දෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක ඇතුළු 09 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වනවා.