අම්පාර – සියඹලාණ්ඩුව මාර්ගයේ වඩිනාගල 18 කණුව ප්‍රදේශයේ දී ගිලන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් ගිලන් රථ රියදුරා ජීවිතක්ෂයට පත්ව එහි සහයකයා බරපතල තුවාල ලබා තිබෙනවා.
අම්පාර – වඩිනාගල ප්‍රාදේශීය රෝහලේ ගිලන් රථය ඊයේ (29) රාත්‍රියේ මෙලෙස අනතුර ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
තොට්ටම රෝහලේ රෝගියෙකු අම්පාර රෝහලට වෙත රැගෙන යාමට මෙම ගිලන් රථය රෝහලෙන් පිටත්ව ගොස් ඇති අතර ඒ යන අතර මඟදී සහල් පැටවූ ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරෙන් තුවාල ලබා සිටි ගිලන් රථයේ රියදුරු සහ එහි සහයක ප්‍රදේශවාසීන් එක්ව වඩිනාගල රෝහල වෙත ඇතුළත් කර ඇති අතර බරලතල තත්වයේ පසුවූ ඔවුන් එම රෝහලේ වෛද්‍යවරයෙකුගේ මෝටර් රථයෙන් අම්පාර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ වන විටත් බරපතල තත්වයේ පසුවූ ගිලන් රථයේ රියදුරු මියගොස් ඇති අතර එහි සහයක මේ වනවිට අම්පාර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
අනතුර සිදුවෙන අවස්ථාවේ ලොරි රථය පාරේ දකුණු පසින් ධාවනය වෙමින් තිබු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඡායාරූප – අම්පාර, වසන්ත චන්ද්‍රපාල