Gossips

රියදුරු බලපත්‍රයට පරිගණක පරීක්ෂණයක්

රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා පවත්වන ලිඛිත විභාගය පරිඝනක පද්ධතියක් හරහා සිදුකිරීම අද සිට ආරම්භ වනවා.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තු කාර්යාලයේදී මෙය ප්‍රථමයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි.
ඒ සඳහා පරිඝනක යන්ත්‍ර 143 ක් සවිකර ඇති අතර, අනතුරුව මෙය දිවයිනේ සෙසු ප්‍රදේශවලට ව්‍යාප්ත කරන බවද ඔහු සඳහන් කළා.
පරිගණක තිරය මත දිස්වන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම මෙහිදී සිදුවන අතර, ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරු සපයා අවසන් වනවිට අපේක්ෂකයා ලබාගත් ලකුණු ප්‍රමාණය පරිගණක තිරය මත ඒ මොහොතේම දිස්වන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා කියා සිටියේ.
මෙම ක්‍රමවේදය හරහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීම කඩිනම් වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.