Gossips

රාවතාවත්තෙන් ඇල්ලූ කෝටි 180ක හෙරොයින්, සහ අවි ගබඩාව මධූෂ්ගේ බව හෙළිවේ (ඡායාරූප)

රුපියල් කෝටි 500යේ දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික හෙවත් 'කැවුමා' රැදී සිටි බව කියන මොරටුව – රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගත් හෙරොයින් තොගය සහ අවි ගබඩාව ඩුබායි හිදී අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ බවට අනාවරණ වී තිබෙනවා.
ඊයේ (11) දිනයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ මෙහෙයුමකදී එම නිවසේ තිබී කෝටි 180කට අධික හෙරොයින් කිලෝග්‍රෑම් 177ක් සොයා ගනු ලැබුවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ හෙරොයින්වලට අමතරව ටී 56 ගිනි අවි සඳහා යොදන උණ්ඩ 2803, බෝර 12 පතොරොම් 234ක්, ස්වයංක්‍රීය ගිනි අවියක් සහ තවත් ආයුධ කිහිපයක් සොයා ගත් බවයි.
පසුව සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ දැනට ඩුබායි හි අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ හෙරොයින් සහ ගිනි අවි මෙලෙස ගබඩා කර ඇති බවටයි.
අදාළ නිවස ද මධුෂ් විසින් මිලදී ගෙන ඇති අතර, ඉන් අනතුරුවයි එහි හෙරොයින් ගබඩා කර ඇත්තේ.
එමෙන්ම මධුෂ් විසින් අවස්ථා කිහිපයකදී හෙරොයින් කිලෝග්‍රෑම් 2000කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇති අතර ඒවා ස්ථාන රැසක සඟවා ඇති බවට දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.
පසුගිය 5 වනදා පානදුර – කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසකදී පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අදාළ දියමන්තිය සමඟ කැලුම් ඉන්දික හෙවත් 'කැවුමා' අත්අඩංගුවට ගත් අතර, පසුව හෙළි වුණේ පන්නිපිටිය – ඇරැව්වල ප්‍රදේශයේ නිවසක තිබූ දියමන්තිය කොල්ල කෑම මොහු සහ මාකඳුරේ මධුෂ් විසින් මෙහෙයවා ඇති බවයි.
අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික හෙවත් කැවුමාගෙන් පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අතර, මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.