Gossips

රාවණ – වන් ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානයට ළඟා වෙයි

මෙරට ඉංජිනේරුවන් දෙදෙනෙකු නිර්මාණය කළ පළමු චන්ද්‍රිකාව වන ‘‘රාවණ – වන් ’’ රැගත් සිග්නස් අභ්‍යවකාශ යානය, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළගාවී තිබෙනවා.
චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට දායක වූ ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂක ඉංජිනේරු දුලානි චාමිකා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද පස්වරුවේ එය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළඟාවූ බවට තමන් දැනුම්වත් කළ බවයි.
නාසා ආයතනයද එම කටයුතු නිරීක්ෂණය කරමින් සිටිනවා.
සිග්නිස් යානය රැගත් නාසා ආයතනයට අයත් අන්තරෙස් රොකට්ටුව ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ අළුයම 2.16 ට පමණ ගුවන්ගත කෙරුණේ ඇමරිකාවේ – වර්ජනියා ප්‍රාන්තයේ සිටයි.
ජපානයේ කි්‍යුෂු සරසවියේ බර්ඩ්ස් නමැති විශේෂ ව්‍යාපෘති යටතේ නිපදවූ ‘‘රාවණ – වන් ’’ චන්ද්‍රිකාව ඝණ සෙන්ටිමීටර් දහසක පමණ ප්‍රමාණයකින් සහ කිලෝග්‍රෑම් 1.1 ක බරකින් යුක්ත වනවා.
මෙවැනි චන්ද්‍රිකා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සහ මෙම චන්ද්‍රිකාවට ‘‘රාවණ – වන් ’’ ලෙස නම් තබනු ලැබුවේ ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ යෝජනාවකට අනුවයි.
රාවණාගේ ගුවන් තාක්ෂණය ලොවට කියාපෑම එහි අරමුණ වී තිබුණා.