Gossips

රාවණ – වන් ගුවන්ගත කිරීම සාර්ථකයි-ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් කියයි

මෙරට පළමු චන්ද්‍රිකාව වන ‘‘රාවණ – වන් ’’ ගුවන්ගත කිරීම සාර්ථක බව එය නිපද වූ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනා ප්‍රකාශ කළා.
ජපානයේ සිට හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ චන්ද්‍රිකාව රැගත් සිග්නස් අභ්‍යවකාශ යානය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 6යි 30ට පමණ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ලඟා වීමට නියමිත බවයි.
එම අභ්‍යවකාශ යානය රැගත් නාසා ආයතනයට අයත් අන්තරෙස් රොකට්ටුව ශ්‍රී ලංකා වේලාවෙන් අද අළුයම 2.16 ට පමණ ගුවන්ගත කෙරුණේ ඇමරිකාවේ – වර්ජනියා ප්‍රාන්තයේ සිටයි.
ජපානයේ කි්‍යුෂු සරසවියේ බර්ඞ්ස් නමැති විශේෂ ව්‍යාපෘති යටතේ නිපදවූ ‘‘රාවණ – වන් ’’ චන්ද්‍රිකාව ඝණ සෙන්ටිමීටර් දහසක පමණ ප්‍රමාණයකින් සහ කිලෝග්‍රෑම් 1 යි දශම 1 ක බරකින් යුක්ත වනවා.
මෙවැනි චන්ද්‍රිකා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සහ මෙම චන්ද්‍රිකාවට ‘‘රාවණ – වන් ’’ ලෙස නම් තබනු ලැබුවේ ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ යෝජනාවකට අනුවයි.
රාවණාගේ ගුවන් තාක්ෂණය ලොවට කියාපෑම එහි අරමුණ වී තිබුණා.
මෙම චන්ද්‍රිකාව නිර්මාණය කිරීම සඳහා දායක වූ ආතර් සී.ක්ලාක් මධස්ථානයේ පර්යේෂණ ඉංජිනේරු තරිඳු දයාරත්න, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි සහ ඉංජිනේරු උපාධිධාරියෙක්.
ඔහු පින්නවල ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය හදාරා තිබෙනවා.
එමෙන්ම චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට දායක වූ ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂක ඉංජිනේරු දුලානි චාමිකා මූලික අධ්‍යාපනය හදාරනු ලැබුවේ කොට්ටාව ධර්මපාල විද්‍යාලයෙන් සහ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයෙන්.
පසුව ඇය තායිලන්තයේ සරසවියකින් විද්‍යුත් යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය හදාරා තිබෙනවා.
මොවුන් ඉතිහාසයට එක්වන්නේ මෙවැනි චන්ද්‍රිකාවක් නිපදවූ පළමු ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ලෙසයි.
අද අළුයම ගුවන්ගත කෙරුණු ‘‘රාවණ – වන් ’’ චන්ද්‍රිකාව සම්බන්ධයෙන් ජපානයේ සිට හිරු ප්‍රවෘත්ති අංශයට ඔවුන් දෙදෙනා කරුණු දක්වා සිටියා.