Gossips

රාමේෂ්වරන් ධීවරයන් ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතාවක

මෙරට නාවික හමුදාව විසින් සිය ධීවරයන් සහ යාත්‍රා අත්අඩංගුවට ගන්නා බවට චෝදනා නගමින් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේෂ්වරන් හි ධීවරයන් අද සිට වර්ජනයක් ක්‍රියාත්මක කරනු ලබනවා.
ඒ සඳහා ඔවුන් තීරණය කරනු ලැබුවේ තමිල්නාඩු යාන්ත්‍රික බෝට්ටු ධීවරයන්ගේ සුබසාධක සම්මේලනය ඊයේ පැවැත්වූ හදිසි රැස්වීමකින් අනතුරුවයි.
ප්‍රාන්ත රජය සහ ඉන්දීය මධ්‍යම රජය සිය ධීවරයන්ගේ දුෂ්කරතා පිළිබදව ලක් රජය සමඟ සාකච්ඡා කොට විසදුමක් ලබා දිය යුතු බවයි රාමේෂ්වරන් ධීවරයන් ඉල්ලා සිටින්නේ.
ශ්‍රී ලංකාව විසින් අත්අඩංගුවට ගත් සිය ධීවරයන් සතුව තිබූ යාත්‍රා 37ක් අලූත්වැඩියා කළ නොහැකි නිසා ඒ සඳහා වන්දි ලබාදෙන ලෙස ද ඔවුන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම මෙරට අත්අඩංගුවේ පසුවන ධීවර පවුල්වල ශිෂ්‍යයින් දෙදෙනෙකු වහා මුදා හරින ලෙස ද ඔවුන් ඉල්ලීමක් කළා.
ධීවර සම්මේලනය කියා සිටියේ එම සිසුන් දෙදෙනා මේ වසර අවසානයේ රජයේ විභාගවලට පෙනී සිටින බැවින් ඔවුන් නිදහස් කිරීමට පියවර ගත යුතු බවයි.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාරගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් නිදහස් කිරීම නිත්‍යානුකූල රාමුවක් තුළ සිදුවන බවයි.