රාඩා ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය අක්රමිකතාව පිළිබඳව නඩුවේ සාක්ෂි විමසීමේදී මුල් ලේඛණ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් විත්තියේ නීතිඥයින් අද විරෝධය එල්ල කර තිබෙනවා.
ඒ, නඩුවට අදාළව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගෙන් සාක්ෂි විමසන අවස්ථාවේදීයි.
උතුරු – නැගෙනහිර නිවාස ව්‍යාපෘතියකදී රාඩා ආයතනය මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුකළ බවට වන නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි ඉදිරියේ අද කැඳවනු ලැබුවා.
අද දිනයේ සාක්ෂි ලබාදීම සඳහා ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන අයට අධිකරණය සිතාසි යොමුකර තිබුණා.
කෙසේ වෙතත්, අමාත්‍ය පාඨලී චම්පික රණවක අධිකරණයට ලිපියක් යොමුකරමින් සඳහන් කළේ අද දිනයේදී යොදාගත් සුවිශේෂී වැඩකටයුත්තක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බැවින් අධිකරණයට පැමිණිය නොහැකි බවයි.
ඒ අනුවයිි හිටපු ජනාධිපති ලේකම්වරයාගෙන් සාක්ෂි විමසීම ආරම්භ කරනු ලැබුවේ.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට ලේඛණයක් ඉදිරිපත් කළ අතර, එහි දැක්වුණේ රාඩා ආයතනය පිහිටුවීමට අදාළව ජනාධිපතිවරයා නිකුත් කළ ආඥාවයි.
කෙසේ වෙතත්, එම ලේඛණය ඡායා පිටපතක් වීම හේතුවෙන් විත්තිය ඊට ප්‍රබල විරෝධයක් එල්ල කළා.
එම නීතිඥයින් පෙන්වා දුන්නේ ඡායා පිටපතක් පෙන්වමින් සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න ඇසීමට නොහැකි බවයි.
සාක්ෂිකරු සිය ධුර කාලය තුළ මිලියන ගණනක් ලේඛණ පරිශීලනය කර ඇති නිසා අදාළ ඡායා පිටපතක් පෙන්වා එය හඳුනා ගැනීමට යැයි පැවසීම අසාධාරණ බවයි විත්තියේ නීතිඥයින් අධිකරණයට පෙන්වා දුන්නේ.
එමෙන්ම සාක්ෂි ආඥා පනතට අනුව මුල් පිටපත් නොමැතිව ද්විතීක සාක්ෂි මෙහෙයවීම නොහැකි බවයි විත්තියේ නීතිඥයින් වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේ වෙතත්, මුල් ලේඛණ අස්ථානගත වී හෝ අස්ථානගත කර ඇති බවත් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට ප්‍රකාශ කළා.
එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි සඳහන් කළේ එසේ මුල් ලේඛණ විනාශ වී ඇත්නම් ඒ බව පළමුවෙන් ඔප්පු කළ යුතු බවයි.
නඩුවේ මුල් ලේඛණ නොමැති නම් අධිකරණය සෑහීමකට පත්වන ආකාරයට සාක්ෂි ආඥා පනතට අනුව ඒ බව ඔප්පු කළ යුතු බව එහිදී මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි විශේෂ තීන්දුවක් ලබාදෙමින් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, මෙම අවස්ථාවේ ලේඛණයට අත්සන් තබා ඇති හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග එම ලේඛණයේ කතෘද වන බැවින් ඔහු අදාළ ලේඛණය හඳුනා ගන්නේ නම් ද්වීතික සාක්ෂිය පිලිගෙන සාක්ෂි විමසීම ඉදිරියට කරගෙන යා හැකි බව විනිසුරුවරයා නිකුත් කළ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වුණා.
එම තීන්දුවත් සමඟ හිටපු ජනාධිපති ලේකම්වරයාගෙන් සාක්ෂි විමසීම යළි ආරම්භ වූ අතර, එහිදී සාක්ෂිකරු රාඩා ආයතනය පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා නිකුත් කළ ආඥාවේ ඇති අත්සන තමන්ගේ බවට හඳුනාගත්තා.
ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගෙන් සාක්ෂි විමසීම අද අවසන් කෙරුණු අතර, නඩුව ලබන 18 දක්වා කල් තැබූ අධිකරණය එදින සාක්ෂි ලබාදීමට පැමිණෙන ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවකට යළි සිතාසි නිකුත් කළා.