Gossips

රාජ්‍ය බුද්ධි නිලධාරියෙකුට කතරගමදී වෙඩි – මාකදුරේ මධූෂ් අල්ලන්න තවදුරටත් සාකච්ඡා

කතරගම බස්නැවතුම ආසන්නයේදී අද අළුයම වෙඩි ප්‍රහාරයට ලක් වූ පොලිස් නිලධාරියා රාජ්‍ය බුද්ධි ඒකකයට අනුයුක්තව සේවය කරන නිලධාරියෙකු බවට අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා විමර්ශණ කණ්ඩායම් දෙකක් පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ තංගල්ල ප්‍රදේශය භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීම යටතේයි.
මෙම පොලිස් නිලධාරියා කතරගම පිහිටි තම නිවසේ සිට තංගල්ල පොලිස් ස්ථානය වෙත ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් වූ අතර ඉන් ඔහුගේ අතකට තුවාල සිදු වුණා.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් පිලිබඳව නිශ්චිත තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.
කෙසේ වෙතත් අද පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍යප්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කළේ මෙම වෙඩිතැබීම පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් බවට දැනට අනාවරණ වී ඇති තොරතුරු අනුව අනුමාන කෙරෙන බවයි.
එමෙන්ම පසුගිය දින කිහිපය තුල මෙරටදී සිදු වූ පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන මාකදුරේ මධූෂ් නමැති පාතාල කල්ලි නායකයා අත්අඩංගුවට ගැනීම සඳහා ඩුබායිහි නීති ප්‍රධානීන් සමඟ තවදුරටත් සාකච්ජා කරමින් පවතින බව පොලිසිය පවසනවා.
මොහුට මේ වනවිටත් ජාත්‍යන්තර පොලිසිය හරහා නිල් නිවේදන නිකුත් කර තිබුණද ඩුබායි හි පවතින ඇතැම් නීතිමය තත්ත්වයන් ඔහු කොටුකර ගැනීමට බාධාවක් බවයි විමර්ශණ මෙහෙයවන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ.
මේ අතර මනුෂ්‍යය ඝාතන 09කට සම්බන්ධ මුනු සාමි නමැති 42 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ පසුගියදා තමිල්නාඩු ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කිරීම ඇතුළු අපරාධ රැසකට මොහු සම්බන්ධ බවයි.