Gossips

රාජ්‍ය අමාත්‍ය රංගේබණ්ඩාරගේ පුත්‍රයා අනතුරකින් රෝහලේ – බීමත්ව රිය පැදවූ බවටත් තොරතුරු

හලාවත – පුත්තලම මාර්ගයේ බංගදෙනිය – කෝට්ටපිටිය මං සන්ධියේදී රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරගේ පුත්‍රයා පැදවූ රජයේ අමාත්‍යාංශයකට අයත් කැබ් රථයක් අද අලුයම අනතුරට ලක්ව තිබෙනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර සහ කැබ් රථයේ ගමන් ගත් තරුණයෙකු හලාවත මහරෝහලට ඇතූලත් කර ඇති බවයි ආරච්චිකට්ටුව පොලීසිය සඳහන් කළේ.
පාලිත රංගේබණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා පැදවූ කැබ් රථය ඔහු මීට පෙර කටයුතු කළ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට අයත් රථයක් බව ද පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
අතුරු මාර්ගයක සිට අද අලුයම පැමිණි කැබ් රථය පාලනය කර ගැනීමට නොහැකිව කෝට්ටපිටිය මං සන්ධියේ පිහිටි නිවසක් තුළට කඩා වැදී තිබෙනවා.
සිද්ධියෙන් නිවසට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුර සිදුවන අවස්ථාවේදී පාලිත රංගේබණ්ඩාරගේ පුත්‍රයා බීමත්ව සිට ඇති බව ද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.