Gossips

රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන ජනපති කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කෙරේ

රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත්කර තිබෙනවා.
පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුනු තීරණයකට අනුවයි ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ කොමිෂන් සභාව පත්කරනු ලැබුවේ.
එස්. රනුග්ගේ එහි සභාපති වශයෙන් පත්කර ඇති අතර එච්.ජී සුමනසිංහ ලේකම්වරයා ලෙසට ද නම්කර තිබෙනවා.
කේ. එල්. එල්. විජේරත්න, ටී. පී කොල්ලුරේ, සී.පී සිරිවර්ධන, සුධර්මා කරුණාරත්න, ජනක සුගතදාස, ධාරණී එස් විජේතිලක, ලලිත් ආර් ද සිල්වා, පී.එස් එදිරිසිංහ සහ ඒ.ආර් දේශප්‍රිය එහි සෙසු සාමාජිකයන් වනවා.
බී.පී.පී එස් අබේගුණරත්න, වෛද්‍ය පාලිත අබේකෝන්, පී. තංගමයිල්, එස්. ඩී. ජයකොඩි සහ එම්. සී වික්‍රමසේකර ද එම විශේෂ කොමිෂන් සභාවේ සාමාජිකයන්ට අයත්.
විශේෂ වැටුප් කොමිෂන් සභාවේ කාර්යයන් හා නියමයන් පහත පරිදි වේ.
අ. රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන වැටුප් චක්‍රලේඛ විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සේවයට යෝජිත වැටුප් පරිමාණය ලබාදීමේ දී ඇතිවන බලපෑම් අධ්‍යයනය කිරීම සදහා සහ එහිදී මතුවන ගැටලූ විසදීම සදහා ක්‍රමවේද යෝජනා කිරීම.
ආ. මෑතකදී වැටුප් හා දීමනා වැඩිකරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කරන ලද දුම්රිය සේවය, සෞඛ්‍ය, උසස් අධ්‍යාපන හා අධ්‍යාපන, තැපැල් සේවය යන ක්ෂේත්‍ර සදහා දැනට ක්‍රියාත්මක වන වැටුප් චක්‍රලේඛ මගින් වැටුප් විෂමතාවයක් සිදු වී ඇත්නම් එය අවම කිරීම සදහා විසදුම් යෝජනා කිරීම.
ඇ. දීපව්‍යාප්ත සේවාවන්ට අදාළ වැටුප් ගැටලූ මෙන්ම කරනු ලැබ ඇති වැටුප් වැඩි කිරීම හේතුවෙන් දැනට පැන නැගී ඇතැයි හදුනාගෙන ඇති වැටුප් විෂමතාවයන් අවම කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම.
ඈ. සමාන වගකීම් දරන්නා වූ හෝ සමාන සුදුසුකම් සහිත වන්නා වූ හෝ වෘත්තිකයින් විසින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයන්හි දී ලබන්නා වූ වැටුප් හා වේතනයන් සහ දීමනා අතර ඇති විෂමතාවයන් අවම කිරීම පිණිස මග පෙන්වන වැටුප් හා වේතන ව්‍යුහයක් පිළිබදව නිර්දේශ ඉදිරිපත් කිරීම.