Gossips

රාජපක්ෂවරුන්ගේ ආණ්ඩු විවේචනයේ වුවමනාව ඇමති මංගල හෙළි කරයි

ආර්ථික හා සමාජීය වශයෙන් රට පහළට ඇද දැමූ රාජපක්ෂවරුන් වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල විවේචනයට ලක් කරන්නේ යළිත් රටේ බලය ඩැහැ ගැනීමේ අරමුණින් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින්.
අමාත්‍ය මංගල සමරවීර සිය නිවේදනය ආරම්භ කර තිබුණේ වසර 10කට ආසන්න කාලයක් ඥාති – ගජමිතුරු ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් මුළු රටම විනාශ මුඛයට ඇද දැමූ හිටපු ජනාධිපතිවරයා සහ සුදුවෑන් සංස්කෘතියක් බිහි කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රට නැවත වාරයක් ‘විපත් මඟ’ට ඇද දැමීමේ මහත් උත්සාහයක නිරත වන වන බව සදහන් කරමින්.
අභියෝග ඉදිරියේ පවා රට ආර්ථික වශයෙන් හා පරිපාලනමය වශයෙන් ශක්තිමත් කිරීමට මෙම රජයට හැකිව තිබෙන බව අමාත්‍යවරයා සිය නිවේදනය මගින් පෙන්වා දෙනවා.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් දස දහසකින් වැටුප් වැඩි කිරීම හේතුවෙන් සියළුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප 2014ට සාපේක්ෂය 2020 ජනවාරි වන විට සියයට 107කින් ඉහළ යන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ..
2014 වසරට සාපේක්ෂව කිරිපිටි, ගෑස් සහ ඉන්ධන මිල තවමත් පහළ මට්ටමක පවතින අතර, සේවක වැටුප් ඉහළ යාමෙන් ජනතාවගේ ජීවන බර අඩු මට්ටමක පවත්වාගෙන යාමට රුකුලක් වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
රාජපක්ෂ පවුලේ සහෝදරයින් යළිත් රටේ බලය ඩැහැ ගැනීම සඳහා ජනතාව විපත් මගට ඇද දැමීමට දරණ උත්සාහය පරාජය කිරීම සඳහා මෙම රජයේ වැඩපිළිවෙල සමඟ එක්වන ලෙස අමාත්‍යවරයා සිය නිවේදනයෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කළා.