Gossips

රාජගිරිය හරහා කොළඹ දෙසට ධාවනය වන බස් රථ සඳහා නව රථ වාහන සැලැස්මක්

ලබන අප්‍රේල් මස දෙවනදා සිට රාජගිරිය හරහා කොළඹ දෙසට ධාවනය වන බස් රථ සඳහා නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
රාජගිරිය සහ ඒ අවට පවතින රථ වාහන තදබදයට විසඳුමක් ලෙසට මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාවට නැංවීමටයි තීරණය කර ඇත්තේ.
රාජගිරිය ගුවන් පාලම ඉදි කිරමෙන් පසු ඊට සමගාමීව අතුරු මාර්ගවල ඉදි කිරීම් කටයුතු අවසන් අදියරෙහි පවතිනවා.
රාජගිරිය පසුකර කොළඹ දෙසට රථ වාහන ඇතුලුවීමේ දී ආයුර්වේද වටරවුම අසල බාධාවන් පවතින බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ.
පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ වම් මංතීරුවේ පැමිණෙන බස් රථ ආයුර්වේද වටරවුම හරහා කොටා පාරට හැරවීමේ දී ද රථ වාහන හැසිරවීමට බාධාවන් පවතින බව ඔවුන් සඳහන් කළා.
මීට අමතරව බස් නැවතුම පාර්ලිමේන්තු මාර්ගයේ පවතින බැවින් පාර්ලිමේන්තු මාර්ගය සහ කොටා පාර අතර පදිකයන් නිරන්තරයෙන් මාර්ගය හරහා ගමන් කිරීම හේතුවෙන් ද රථ වාහන හැසිරවීමට බාධා පවතින බව සඳහන්.
මීට විසඳුමක් ලෙසට පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ධාවනය වන බස් රථ ගුවන් පාලම යට වැලිකඩ මංසන්දියෙන් කොටා පාරට හරවා කොටා පාර ඔස්සේ ආයුර්වේද මංසන්දිය දක්වා ධාවනය කෙරෙනු ඇති.
ඒ අනුව රාජගිරිය ගුවන් පාලම යට ඇති බස් නැවතුම වෙනුවට රාජගිරිය නගරයේ කොටා පාරේ පිහිටි බස් නැවතුම යෙදා ගැනීමට නියමිතයි.
එලෙසම ආයුර්වේද මංසන්ධියේ පාර්ලිමේන්තු මාර්ගයේ ඇති බස් නැවතුම වෙනුවට කොටා පාරේ ආයුර්වේ ද රෝහල ඉදිරිපිට බස් නැවතුම යොදා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.
මෙම රථ වාහන සැලැස්ම ලබන අගහරුවාදා සිට ක්‍රියාවට නැංවෙන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.