Gossips

රස පරීක්ෂක වෙත ගිය නාමල් කුමාර යළි රහස් පොලීසියට එයි

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර දෙවන වරටත් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
උදෑසන 9 ට පමණ එහි පැමිණි ඔහු පසුව රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කෙරුණේ කටහඩ සාම්පලයක් ලබාගැනීම සඳහායි.
අනතුරුව යළිත් ඔහු ප්‍රකාශය සටහන් කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් තිබෙනවා.
නාමල් කුමාර, රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර, කට හඬ සාම්පල ලබා ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ අවසර ලබා දුන්නා.
අදාළ දුරකථන සංවාදවල කට හඬ නිශ්චිත කර ගැනීමට සාම්පල් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද ඉල්ලීමකට අනුවයි මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබාදුන්නේ.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වූ බවට නාමල් කුමාරගේ නිවසේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා හෙළි කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට දැනුම් දුන්නා.
ඔහු පසුගිය දා දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර හමුවීමට වරකාපොළ පිහිටි ඔහුගේ නිවසට පැමිණ තිබුණා.
ඔහුගේ හැසිරීම සහ ඔහු ප්‍රකාශ කළ කරුණු පිළිබදව මතු වූ සැකයක් හේතුවෙන් නාමල් කුමාර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති අතර, පසුව එම දෙපාර්තමේන්තුව මගින් අදාළ ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගත්තා.
අනතුරුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ ඥාතීන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබද තොරතුරු තමන් දන්නා බවයි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පෙරවරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න වෙත තොරතුරු වාර්තා කරමින් කියා සිටියේ අදාළ කුමන්ත්‍රණය කවුරුන් විසින් කළේ ද යන්න සහ එම කුමන්ත්‍රණය පිළිබදව මෙම පුද්ගලයා දැන ගත් ආකාරය පිළිබදව තවදුරටත් විමර්ශන කළ කළ යුතු බවයි.
ඒ අනුව ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුන්නා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එලෙස අධිකරණයට කරුණු වාර්තා කර තිබුණත්, වාද්දුව පොලිස් ස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයාගෙන් ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව තොරතුරු හෙළි වී නොමැති බවයි.