Gossips

රස පරීක්ෂකවරයා අද පස් දෙනෙකු මියගිය හොරණ කම්හලට

විෂ වායුවක් ආඝ්‍රාණයවීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගිය සිද්ධියට අදාළ රස පරීක්ෂණය සිදුකිරීම සඳහා අද (20) රජයේ රස පරීක්ෂකවරයා හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ පිහිටි අදාළ රබර් සැකසුම් කර්මාන්ත ශාලාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
අනතුරුව එම රස පරීක්ෂක වාර්තාව හොරණ වැඩබලන මහේස්ත්‍රාත් කාන්ති කන්නන්ගර වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.
ඊයේ දහවල් සිදුවු මෙම අනතුරෙන් ශ්වසන අපහසුතා ඇතිවු පුද්ගලයින් 18 දෙනෙකු මේ වනවිටත් රෝහලේ ප්‍රතිකාර ලබාගනිමින් සිටින අතර, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව හොරණ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය තමර කළුබෝවිල කියා සිටියා.
එසේම කර්මාන්ත ශාලාවේ අප ජලය බැහැර කරන ටැංකිය අනාරක්ෂිත බව සහ එමඟින් පරිසර හානියක් සිදුවන බව පවසමින් ප්‍රදේශවාසීන් කලහකාරී ලෙස හැසිරීමත් සමඟ අවට ආරක්ෂාව සඳහා මේ වනවිටත් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මේ අතර, අත්අඩංගුවට ගත් අදාළ කර්මාන්තශාලාවේ කළමණාකාරවරයා හොරණ පොලිසියේ රඳවාගෙන ඊයේ රාත්‍රියේ ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා.
ඔහු අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කර්මාන්ත ශාලාවට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන පැහැර හැරීම හා අපරීක්ෂාකාරී ලෙස කටයුතු කිරීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගැනුණා.
එමෙන්ම, ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හොරණ පොලිසියට පැමිණෙන ලෙස අදාළ රබර් සැකසුම් කර්මාන්ත ශාලාවේ හිමිකරුට දැනුම්දීමක්ද සිදුකර තිබෙනවා.
මෙම රබර් සැකසුම් පෞද්ගලික කර්මාන්ත ශාලාවේ අප ජලය බැහැර කරන ටැංකියට ඊයේ පස්වරු 1.20 ට පමණ සේවකයෙක් ඇද වැටුණු අතර, එම සේවකයා බේරා ගැනීම සඳහා තවත් සේවකයින් පිරිසක් උත්සාහ කළ අවස්ථාවේ ඉන් කිහිප දෙනෙකුද අදාළ ටැංකියට වැටී අනතුරට ලක්වුණා.