Gossips

රසකැවිලිවලටත් වර්ණ සංකේත

රසකැවිලි සඳහාද වර්ණ සංකේත හඳුන්වාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එළඹෙන අප්‍රේල් 2 වනදා සිට එය ක්‍රියාත්මක කෙරෙන අතර, බිස්කට් ඇතුලු රස කැවිලිවල අඩංගු සීනි, ලුණු සහ මේද සංඝටකවල ප්‍රමාණයන් පැහැදිළිව පාරිභෝගිකයාට නිරීක්ෂණය කිරීමට හැකිවන පරිදි මෙම වර්ණ සංකේත හඳුන්වාදෙන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.
මීට පෙර බීම වර්ගවල සීනි පාලනය කිරීම සඳහාද සෞඛ්‍ය අමාත්‍යාංශය වර්ණ සංකේත හඳුන්වාදෙනු ලැබුවා. ඒ අනුව සීනි මට්ටම වැඩි සිසිල් බීම සඳහා රතු වර්ණයත්, මධ්‍යම ප්‍රමාණයේ සීනි ඇතුළත් සිසිල් බීම සඳහා කහ වර්ණයත්, අඩු සීනි ප්‍රමාණයක් අඩංගු සිසිල් බීම සඳහා කොළ වර්ණයත් ක්‍රියාත්මක කෙරුණා.