Gossips

රවී කරුණානායක ගැන නීතිපතිගෙන් පොලීසියට උපදෙස්

බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අසත්‍ය සාක්ෂි ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නීතිපතිවරයා පොලීසියට උපදෙස් ලබාදී තිබෙනවා.
ඊට අදාළව මෙතෙක් සිදුකළ විමර්ශන අධ්‍යයනය කර, ඔහු සැකකරුවෙකු ලෙස නම් කර, මෙලෙස කරුණු වාර්තා කරන ලෙසටයි එහිදී නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.
බැඳුම්කර කොමිසම් වාර්තාවේ දක්වා ඇත්තේ රවී කරුණානායක මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
ඒ සම්බන්ධයෙන් මෙතෙක් කරුණු වාර්තා කර නොමැති අතර, මීට පෙර එම වාර්තා පිළිබද විමර්ශනය කර වැඩිදුර පරීක්ෂණ සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය උපදෙස් ලබා දී තිබුණා.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සකස් කළ විමර්ශන සටහන් සහ ප්‍රකාශ සලකා බැලීමෙන් අනතුරුවයි නීතිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ.
එම කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සහ අදාළ පාර්ශවයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස ද නීතිපතිවරයා දැනුම් දී තිබෙනවා.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙසයි නීතිපතිවරයා පොලීසියට උපදෙස් දී ඇත්තේ.
එම තොරතුරු අනුව බැඳුම්කර කොමිසමේදී අසත්‍ය තොරතුරු ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රවී කරුණානායක මන්ත්‍රීවරයාට එරෙහිව අධිකරණයට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති.