Gossips

රනිල් තනි කිරීමේ කුමන්ත්‍රණයක් ගැන ආණ්ඩුවෙන් හෙළිදරව්වක්

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරය තුළ තනි කිරීමේ සැලැස්මක් එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කෙරෙන්නේ ද යන්න සම්බන්ධයෙන් සැක මතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
අරලියගහ මන්දිරය සම්පූර්ණයෙන්ම නඩත්තු වන්නේ අග්‍රාමාත්‍ය ලේකම්වරයාට වෙන් කරන මූල්‍යමය ප්‍රතිපාදනවලින් වන අතර, අග්‍රාමාත්‍යවරයාගේ වියදම් කපා හරින ලෙස යෝජනාවක් සිදුකළහොත් එය අරලියගහ මන්දිරයේ වියදම් කපා හැරීමට ද අදාළ වන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ දැනට රැදී සිටින අරලිය ගහ මන්දිරයේ ජලය, විදුලිය සහ තෙල් ආදී වියදම් කපා හැර ඔහු අරලිය ගහ මන්දිරයේ තනි කරවීමට මෙම කුමන්ත්‍රණය දියත් වන බවට සැකයක් මතු වන බවයි රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
මේ අතර, එම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක කියා සිටියේ පාර්ලිමේන්තුවේ කලහකාරී ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් එරෙහිව විනය පියවර ගන්නේ නම්, ප්‍රථමයෙන් කථානායකවරයාට එරෙහිව කටයුතු කළ යුතු බවයි.
එසේම ජනතා විමුක්ති පෙරමුණ පසුගිය දා පැවති සර්ව පාක්ෂික රැස්වීමට සහභාගි නොවූයේ වර්තමානයේ ඇති වී තිබෙන අර්බුදයට හේතුව ඔවුන් වීම බව ද මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේදී කියා සිටියා.