Gossips

රන්ජන් රාමනායකට යළිත් නඩු

පාර්ලිමේන්තුව විසුරුවා හැරිම සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම් විභාගය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස වන අන්දමින් ප්‍රකාශ සිදු කළ රන්ජන් රාමනායකට එරෙහිව අපහාස නඩුවක් ගොනුකරන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එම පක්ෂයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ අද (22) කැදවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
"ඊයේ දැක්කා රන්ජන් රාමනායකගේ ඊලඟ චිත්‍රපටියේ ජවනිකාවක්. එතුමා ඉස්සෙල්ලා නිෂ්පාදනය කළේ පාර්ලිමන්ට් ජෝක්ස්, ඊයේ එතුමා පළවෙනි දර්ශනය ගෙනාවා සුපී‍්‍රම් කෝට්ස් ජෝක්ස්. එතුමා ඉතා පැහැදිලිව ජාතික මාධ්‍යයක ඉඳගෙන මේ අධිකරණයේ 04, 05, 06 දවස් තුනේ විභාගවීමට නියමිත නඩුව සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කළා. මේක එක්සත් ජාතික පක්ෂයේ මතය. එක්සත් ජාතික පක්ෂයට තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ට හූ කියපු, පහරදීපු, කලූ ලා කියලා මෙහෙයවලා අඩන්තේට්ටම් කරපු, ශ්‍රේෂ්ඨාධිකරණයේ කළු කොඩි ඔසවලා අග්‍රවිනිශ්චයකාරවරයා එළියට අදින්න හදපු ඉතාම අපකීර්තිමත් ඉතිහාසයක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂය අධිකරණය සම්බන්ධයෙන් කටයුතු කරන විදිය මේ. දැන් රන්ජන් රාමනායක මැතිතුමාට චෝදනාවක් තියෙනවා අධිකරණයට අපහාස කළා කියලා. ඇයි මේ කලබල. ඇයි මේ පාර්ලිමේන්තුවේ ගහ ගන්නේ. ඇයි මේ යෝජනා ගෙනැල්ලා විකෘති කරන්න හදන්නේ. 07 වැනිදා නඩු තීන්දුව දෙනකම් කරුණාකරලා ඉවසීමෙන් බලන් ඉන්න.
අපි අධිකරණ තීන්දුවලට ගරු කරන්නේ එහෙමයි. හැබැයි මේ මහත්තුරු අධිකරණයට කරන බලපෑම, අධිකරණයට කරන අගෞරවය, අපහාසය මං හිතනවා එතෙක් මෙතෙක් ලාංකීය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨාධිකරණයට මේ තරම් අපහාසයක්, මේ තරම් අගෞරවයක් කිසිම පුරවැසියෙක්ගෙන් සිද්ධ වෙලා නෑ. අධිකරණයේ සංකේතය, දෑස් බැඳි කන්‍යාව. රාමනායක මැතිතුමා විසින් දෑස් බැඳි කන්‍යාව නිරුවත් කළා. ඉතාම ගෞරවයෙන් දෙවියන්ගේ නාමෙන්, අපි ඉල්ලා හිටිනවා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙහෙම සමච්චල් කරන්න එපා, තමන්ගේ දේශපාලන බලය වෙනුවෙන්. අපි දැක්කා පහුගිය අවුරුදු දෙකක කාලසීමාව තුළදීම මේ මහත්තුරු අධිකරණ තීන්දු වේලාසනින් ප්‍රකාශයට පත් කරනවා. අපේ රටේ අධිකරණ තියෙනවා, මහේස්ත්‍රාත් අධිකරණය, දිස්ත්‍රික් අධිකරණය, මහාධිකරණය, අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය. තල පහක. මේ විදියට එක්සත් ජාතික පක්ෂය හැසිරීම දිහා බැලුවහම තව තලයක් තියෙනවා අධිකරණයේ ශේ්‍්‍රෂ්ඨාධිකරණයට උඩින් තියෙනවා තව, රන්ජනාධිකරණය කියලා තවත් එකක්, මට පේන විදියට. ඒ නිසා අධිකරණයට සමච්චල් කරන දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කරන්න."