Gossips

රන්ජන් රාමනායකගේ ප්‍රකාශය බැලූ බැල්මට අධිකරණයට අපහාස කිරීමක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය තුළින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
ඒ මීට අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ඊවා වනසුන්දර සහ එල්.ටී.බී. දෙහිදෙණිය හමුවේ කැඳවූ අවස්ථාවේදියි.
අධිකරණයට අපහාසවන අයුරින් රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශ අධ්‍යයනය කොට සිය මතය ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නීතිපතිවරයාට දැනුම් දී තිබුණා.
ඒ අනුවයි නීතිපතිවරයා අද සිය මතය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේ.
රන්ජන් රාමනායක අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර තිබුණේ මෙරට අධිකරණ විනිසුරුවරුන් සහ නීතීඥවරුන්ගෙන් බහුතරයක් දූෂිත බවටයි.
පසුගිය වසරේ අගෝස්තු මස 21 වනදා අධිකරණයට අපහාස වන අයුරින් රන්ජන් රාමනායක මෙලෙස ප්‍රකාශයක් සිදුකළා.
මේ සම්බන්ධයෙන් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඇතුලු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙරුණු අතර, එය පසුගිය වසරේ දෙසැම්බර් මස 14 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
එදින නඩුව අවසානයේදී රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විනිසුරුවරුන් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
එමෙන්ම එදින පෙත්සම සළකා බැලීම අද දිනය දක්වා කල් තැබුණේ ලිඛිත දේශණ ගොනු කිරීම සඳහායි.
ඉන් අනතුරුව යළි රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී යළිත් මාධ්‍යයට මෙලෙස අදහස් දක්වා සිටියා.
කෙසේ වෙතත් කරුණු සළකා බැලූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ රන්ජන් රාමනායකගේ මෙම ප්‍රකාශය තුළින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවයි.
නඩුව මේ මස 18 වනදා යළි කැඳවීමට නියමිතව තිබෙනවා.