Gossips

රන්ජන්, කොකේන් විමර්ශන කමිටුවට- වාර්තාව අද හෝ සඳුදා අගමැතිට

කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කළ ප්‍රකාශය පිළිබදව විමර්ශනය කළ කමිටුවේ වාර්තාව අද හෝ ලබන සඳුදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත භාර දෙන බව කමිටු සභාපති, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.
එම කමිටුව අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තු කමිටු කාමර අංක හතේ දී රැස්වූ අතර, රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විනාඩි 20ක් පමණ ප්‍රමාද වී කමිටුව හමුවේ පෙනී සිටි බවයි පාර්ලිමේන්තුවේ සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු කියා සිටියේ.
පසුගිය දා පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මෙම කමිටුව පත් කෙරුණු අතර, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ආශු මාරසිංහ, ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර කමිටුවට නම් කෙරුණා.
කෙසේ වෙතත්, ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර වෙනුවට වෙනත් නීතිඥවරයෙකු අද දිනයේ කමිටුවට පැමිණ සිටි බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
මෙහිදී රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා පැය භාගයකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදුන්නා. ඉන් අනතුරුව පිටතට පැමිණි ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ තමන් කමිටුවට කොකේන් භාවිත කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නම් ලබාදුන් බවයි.
එසේම මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ද සිදුකළ බව ඔහු කියා සිටියා.
අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත භාරදීමෙන් පසු එය ලබන බදාදා රැස්වන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ද ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.