Gossips

රන්ජන්ට චෝදනා කෙටුම්පතක් ගොනු කරන්නැයි නීතිපතිවරයාට නියෝග

අධිකරණයට අපහාස කිරීමට අදාල නඩුව සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව ලබන මස 30 වනදා අධිකරණය හමුවේ චෝදනා කෙටුම්පතක් ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිට නියෝග කළා.
ඒ මෙම නඩුව අගවිනිසුුරු ප්‍රියසාද් ඩෙප් සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ විත්තිකාර නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක කළ ප්‍රකාශය මගින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලූ විනිසුරුවරුන් මේවනවිට නිරීක්ෂණය කර ඇති බවයි.
ඒ අනුව අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට නියෝග කළේ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිදුකළ ප්‍රකාශය මගින් අධිකරණයට කළ අපහාසයට දඩුවම් නොකළ යුත්තේ මන්දැයි විමසා චෝදනා කෙටුම්පතක් ලබන මස 30 වනදා ගොනු කරන ලෙසයි.
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශ තුළින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවට බැලූ බැල්මට පෙනී යන්නේ යැයි නීතිපතිවරයා මෙම නඩුව පසුගිය 04 වනදා කැදවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
ඒ අධිකරණයට අපහාසවන අයුරින් රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශ, අධ්‍යයනය කොට සිය මතය ඉදිරිපත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර කර තිබූ දැනුම් දීමකට අනුවයි.
පසුගිය වසරේ අගෝස්තු මස 21 වන දා අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව පිටතට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙරට අධිකරණ විනිසුරුවරුන් සහ නීතීඥවරුන්ගෙන් බහුතරයක් දූෂිත බවටයි.
අනතුරුව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරි සුනිල් පෙරේරා විසින් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරනු ලැබුවා.