Gossips

රන්ජන්ගේ නඩුවට දින නියම කරයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගයට අද (05) දින නියම කෙරුණා.
ඒ අනුව දෙසැම්බර් මස 10, 11 සහ 12 යන දිනයන්හිදී සිදුකිරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ.
ඒ මෙම නඩුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, විජිත් මලල්ගොඩ සහ එල්. ටී. බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
නීතිපතිවරයා මෙම නඩුවට අදාලව සාක්ෂිකරුවන් 14 දෙනෙකුගේ ලයිස්තුවක්, සංයුක්ත තැටි 04ක් සහ පුවත්පත් වාර්තා 04 ද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව මෙම නඩුවේ සාක්ෂිකරුවන් 06 දෙනෙකුට දෙසැම්බර් මස 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ.
මෙරට අධිකරණ විනිසුරුවරුන් සහ නීතීඥවරුන්ගෙන් බහුතරයක් දූෂිත බවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පසුගිය වසරේ අගෝස්තු මස 21 වනදා ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව පිටතට පැමිණි අවස්ථාවේදීයි.
එම ප්‍රකාශකට එරෙහිව පෙත්සම් ගොනු කර තිබුණේ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරි සුනිල් පෙරේරා විසින්.
පසුගිය මස 30 වනදා මෙම නඩුව අවසන් වරට කැදවූ අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කළ බවට සඳහන් චෝදනා පත්‍රයේ කෙටුම්පත නීතිපතිවරයා, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළා.
ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට කර තිබූ නියෝගයකට අනුවයි.
කෙටුම්පත භාරගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ එම චෝදනා විභාග කරන්නේද නැද්ද යන්න පිළිබඳව අද දැනුම් දෙන බවයි.