Gossips

රන්ජන්ගේ තීන්දුව අගෝස්තු මස 8 වනදා

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව නඩු පවරන්නේද නැද්ද, යන තීන්දුව අගෝස්තු මස 8 වනදා ලබාදෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දුන්නා.
ඒ, මෙම නඩුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, එල්.ටී.බී. දෙහිදෙණිය සහ විජිත් මළල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.
එමෙන්ම නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිදුකළ ප්‍රකාශය මගින් අධිකරණයට කළ අපහාසයට දඩුවම් නොකළ යුත්තේ මන්දැයි විමසා චෝදනා කෙටුම්පත් ආඥාවක් නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට සහ වගඋත්තරකාර රන්ජන් රාමනායකගේ නීතීඥවරුන්ට අද භාරදී තිබෙනවා.
ඒ, පසුගිය මස 18 වනදා මෙම නඩුව අවසන් වරට කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට කළ නියෝගයකට අනුවයි.
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශ තුළින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවට බැලූ බැල්මට පෙනී යන්නේ යැයි නීතිපතිවරයා මෙම නඩුව පසුගිය මස 04 වනදා කැදවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
ඒ අධිකරණයට අපහාසවන අයුරින් රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශ, අධ්‍යයනය කොට සිය මතය ඉදිරිපත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර කර තිබූ දැනුම් දීමකට අනුවයි.
පසුගිය වසරේ අගෝස්තු මස 21 වන දා අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව පිටතට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙරට අධිකරණ විනිසුරුවරුන් සහ නීතීඥවරුන්ගෙන් බහුතරයක් දූෂිත බවටයි.
එම ප්‍රකාශයට එරෙහිව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරි සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරනු ලැබුවා.