Gossips

රන්ජන්ගේ කොකේන් කථාව විමර්ශනයට එජාපයෙන් කමිටුවක් – මැති – ඇමති ලැයිස්තුවක් ලැබී නැහැ – නියෝජ්‍ය කථානායක කියයි

කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය කමිටුවක් පත් කර තිබෙනවා.
සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල එහි ප්‍රධානත්වය දරණ අතර එම කමිටුවේ වාර්තාව මීළඟ කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර, අද පාර්ලිමේන්තු සභාව අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සභාවේ අවධානය යොමු කළා.
එහිදී නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි කියා සිටියේ එවැනි මැති ඇමතිවරුන්ගේ ලැයිස්තුවක් රාජ්‍ය අමාත්‍යවරයා විසින් මෙතෙක් කතානායකවරයා වෙත භාරදී නොමැති බවයි.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, අමාත්‍ය රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අළුත්ගමගේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, රංජිත් සොයිසාද එම සංවාදයට මැදිහත් වුණා.