Gossips

රත්‍රං කිලෝ 11ක් සමඟ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු මුම්බායි හිදී අත්අඩංගුවට

රත්‍රං කිලෝ 11කට වැඩි ප්‍රමාණයක් සිය දරුවාගේ ඇඳුමේ සඟවා ඉන්දියාවට රැගෙන ගිය ශ්‍රී ලාංකික කාන්තාවක් තවත් කාන්තාවක් සමඟ ඉන්දියාවේ මුම්බායි නුවර දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දීය ගුවන් බුද්ධි ඒකකය මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ළමයින් යොදවා සිදුකෙරෙන රත්‍රං ජාවාරමක් පිළිබදව තොරතුරු ලැබීමත් සමඟයි.
මෙම ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනා සහ ළමයා සිංගප්පූරුවේ සිට පෙරේදා මුම්බායි වෙත පැමිණ ඇති අතර කාන්තාවන් දෙදෙනා පරීක්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ කිසිදු නීතිවිරෝධී ද්‍රව්‍යයක් නොතිබූ බව හෙළි වී තිබෙනවා.
එහෙත් දරුවාගේ ඇදුම පරීක්ෂා කිරීමේදී එහි ඇතුලූපස අලවා තිබූ රන් කැබලි 108ක් සොයාගෙන ඇති අතර එහි බර කිලෝග්‍රෑම් 11කට ආසන්න බව ඉන්දීය රේගු බලධාරීන් ප්‍රකාශ කළා.
රත්‍රං වෙළදුන් අතර ජනප්‍රිය ස්විට්සර්ලන්තයේ නිෂ්පාදිත මෙම රත්‍රං තොගයේ වටිනාකම ඇස්තමේන්තු කර ඇත්තේ ඉන්දීය රුපියල් තුන් කෝටි තිස් එක් ලක්ෂයක් ලෙසයි.
එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් අට කෝටිය ඉක්මවනවා.
ඉන්දීය රුපියල් කෝටිය ඉක්ම වූ රේගු වංචා සඳහා එරට අධිකරණය මගින් ඇප ලබා නොදෙන අතර ඒ අනුව ඔවුන් පෙබරවාරි 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
රන් ජාවාරම සඳහා යොදා ගත් දරුවා ළමා නිවාසයකට යොමු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මෙම දරුවා සහ මව අනෙක් කාන්තාව විසින් විශාල මුදලක් ලබාදෙන බව පවසා රන් ජාවාරම සඳහා යොදවාගෙන ඇති බවයි.