රත්මලාන හිරිමල් උයන ප්රදේශයේදී ඊයේ (08) යතුරු පැදියක් සොරකම් කර ඇතිබව ගල්කිස්ස පොලිසිය පවසනවා.
අදාල යතුරුපැදිය විකිණීම සඳහා තිබූ එකක් බවත් එය මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි අයෙකු මෙම සොරකම සිදු කර ඇති බවත් යතුරු පැදියේ හිමිකරු අප වෙත ප්රකාශ කළා.
දුරකථන ඇමතුම් හරහා කතා බහ කරගනිමින් ඊයේ රාත්රී 8.06 ට පමණ පැමිණි අයෙකු යතුරු පැදියේ හිමිකරු රවටා මෙම සොරකම සිදුකර තිබෙනවා.
ගාල්ල, වැලිගම ප්රදේශයේ පදිංචි අයෙකු බව පවසමින් පැමිණි මෙම සැකකරු යතුරු පැදිය ධාවනය කර බැලිය යුතු බව යතුරු පැදියේ හිමිකරුට ප්රකාශ කර තිබෙනවා.
ඒ අනුව සැකකරු සහ හිමිකරු යතුරු පැදියේ නැග ටික දුරක් ගමන් කර ඇති අතර පසුව සැකකරු ප්රකාශ කර තිබෙන්නේ තමාට තනිවම මෙම යතුරුපැදිය පැදවිය යුතු බවයි.
එහිදී හිමිකරු සැකකරුගේ ජංගම දුරකථනය ඉල්ලාගෙන යතුරු පැදිය තනිවම ධාවනය කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
සැකකරු යතුරුපැදිය පරික්ෂා කිරීම සඳහා පැමිණ තිබුණේ තමාගේ මාමා බව කියාගත් ත්රිරෝද රථ රියදුරෙකු සමගයි.
කෙසේ වෙතත් යතුරු පැදිය නැවත පැමිණීමට පමාවීම නිසා බියට පත් වූ හිමිකරු තමාගේ නිවස අසල නවතා තිබූ ත්රිරෝද රථය වෙත දිවගොස් තිබෙනවා.
අහිදී ත්රි රෝද රථ හිමිකරු ප්රකාශ කර තිබෙන්නේ තමා සැකකරු පිලිබඳ කිසිදු තොරතුරක් නොදන්නා බවත් තමන් පැමිණියේ කුලී ගමනක් පමණක් බවයි.
අනතුරුව යතුරු පැදියේ හිමිකරු ගල්කිස්ස පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර ගල්කිස්ස පොලිසිය සිද්ධිය පිළිබඳ මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
අදාළ සැකකරු යතුරු පැදිය රැගෙන යන ආකාරය නිවසේ සීසීටීවී කැමරාවේ සටහන්ව තිබුනේ මේ ආකාරයෙන්.