Gossips

රත්නපුරයේ මත් ජාවාරම්කරුවන් ඝාතනය පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු කෙරේ

මත්පැන් ජාවාරම්කරුවන් විසින් රත්නපුර – ෆාම්ගාඩ්න් වත්ත ප්‍රදේශයේදී පැහැර ගෙන ගොස් ඝාතනය කළ පුද්ගලයාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණා.
ඒ ෆාම්ගාඩ්න් – ගොලූවාවිල පොදු සුසාන භූමියේදීයි.
ත්‍රිරෝද 3 කින් පැමිණි 15 කට ආසන්න පිරිසක් පසුගිය බදාදා පස්වරුවේ මෙලෙස පැහැර ගෙන ගොස් ඝාතනය කර තිබුණේ එම ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.
මොහු ෆාම්ගාඩ්න් වත්ත ප්‍රදේශයේ ක්‍රියාත්මක නීතිවිරෝධී මත්පැන් අලෙවියට එරෙහිව කටයුතු කළ අයෙකු වනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් එකම පවුලේ සහෝදරයන් බවයි රත්නපුර පොලීසිය සදහන් කළේ.
එසේම, සැකකරුවන් දීර්ඝ කාලයක් තිස්සේ නීතිවිරෝධී මත්පැන් අලෙවියේ යෙදුණු පිරිසක් බවද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා අමාත්‍ය මනෝ ගනේෂන් හා පී.දිගම්බරම් අද ඔහුගේ නිවසට ගොස් තිබුණා.
මේ අතර, මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකුගේ නිවසකට ඊයේ රාත්‍රියේ ප්‍රදේශවාසීන් පිරිසක් ගිනි තබා තිබෙනවා.
එහිදී පොලීසිය සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක් ද හට ගෙන තිබූ බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සදහන් කළේ.
එහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනෙකු මේ වනවිටත් රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.