Gossips

රත්ගම සිද්ධිය අතරතුර පළාගිය සිව්දෙනාට විනය පරීක්ෂණයක්

රත්ගම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වෙන අතරතුරදී පලාගොස් සැඟව සිටින දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරු සිව්දෙනා මෙතෙක් සේවයට වාර්තාකර නොමැති බැවින් ඔවුන් සේවය අතහැර ගියා සේ සැළකීමට සිදුවන බව පොලීසිය පවසනවා.
මෙලෙස පලාගොස් සිටින නිලධාරීන් අතර උප පොලිස් පරීක්ෂකවරයෙකු ද සිටින බවයි වාර්තාවන්නේ.
මෙම පොලිස් නිලධාරීන් 4 දෙනා පසුගිය 21 වැනිදා බස්නාහිර පළාතේ කළුතර සහ පානදුර කොට්ඨාශ වෙත මාරුකර යවා තිබුණත් ඔවුන් මෙතෙක් සේවයට වාර්තා කර නැහැ.
දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක විරාජ් මධුශංක පසුගිය 21 වනදා අත්අඩංගුවට ගැනිමත් සමඟයි මෙම සිද්ධිය සම්බන්යෙන් සියලු තොරතුරු අනාවරණය වුයේ.
මීට අමතරව පොලිස් කොස්තාපල් කපිල නිශාන්ත ද සිල්වා දැනට සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයේ පසුවනවා.
මේ අතර, ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කොට පිළිස්සූ බවට සැක කරන ස්ථානයේ තිබී තවත් අස්ථි කොටස් කිහිපයක් ඊයේ සොයාගනු ලැබුවා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලීසිය එක්ව සිදුකළ විමර්ශනවලදියි.
පසුගිය ජනවාරි 23 වනදා පොලිස් නිල ඇඳුමින් සැරසුණු පිරිසක් කළු පැහැති වෑන් රථයකින් සහ මෝටර් රථයකින් පැමිණ මෙලෙස පැහැරගෙන ගොස් තිබුණේ 31 හැවිරිදි රසීන් චින්තක සහ 33 හැවිරිදි මංජුල අසේල යන ව්‍යාපාරිකයන් දෙදෙනායි.
පසුව මොවුන් ඝාතනය කර පිළිස්සූ බවට තොරතුරු අනාවරණ වුණා.