Gossips

රත්ගම සිද්ධියත් සමඟ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසුරුවා හැරීමේ සූදානමක්

දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ සිටින අනෙක් පොලිස් නිලධාරීන් 10 දෙනාටද ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙසට මාතර කොට්ඨාශය භාර පොලිස් අධිකාරී ගයන්ත මාරපන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසුව 25 දෙනෙකුගෙන් සමන්විත දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් 15 දෙනෙකුට කළුතර සහ පානදුර කොට්ඨාශවලට ස්ථාන මාරුවීම් ලබාදුන්නේ පසුගිය 21 වනදායි.
එම නිලධාරීන්ගෙන් සිව්දෙනෙකු තවමත් සේවයට වාර්තා කර නොමැති අතර, ඔවුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.
මේ වන තෙක් ඔවුන් සේවයට වාර්තා කර නොමැති බැවින් ඔවුන් සේවය අතහැර ගියා සේ සැළකීමට සිදුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
මෙලෙස මෙම ඒකකයේ ඉතිරි පොලිස් නිලධාරීන් 10 දෙනාටද ස්ථාන මාරු ලබාදුනහොත් එම ඒකකය විසුරුවා හැරෙනු ඇති.
එමෙන්ම රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කොට පිළිස්සූ බවට සැක කරන ස්ථානයේ තිබී සොයාගත් ශරීර කොටස්වල සාම්පල ඩී.එන්.ඒ පරීක්ෂාව සඳහා අද පස්වරුවේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියමිතයි.
ඒ අනුව සතියක් තුළ අදාළ ඩී.එන්.ඒ. වාර්තාව සකස් කර අධිකරණයට සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන බවයි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කළේ.
පසුගිය ජනවාරි 23 වනදා පොලිස් නිල ඇඳුමින් සැරසුණු පිරිසක් කළු පැහැති වෑන් රථයකින් සහ මෝටර් රථයකින් පැමිණ මෙලෙස පැහැරගෙන ගොස් තිබුණේ 31 හැවිරිදි රසීන් චින්තක සහ 33 හැවිරිදි මංජුල අසේල යන ව්‍යාපාරිකයන් දෙදෙනායි.
පසුව මොවුන් ඝාතනය කර පිළිස්සූ බවට තොරතුරු අනාවරණ වුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා සහ උප පොලිස් පරීක්ෂක විරාජ් මධුශංක අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.