රත්ගමදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පිලිස්සීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට සිටින අනෙක් පොලිස් නිලධාරීන් 05 දෙනා සොයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
එහි උසස් නිලධාරීයෙකු සඳහන් කළේ ඔවුන් මේ වනවිට සැඟව සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.
පසුගිය 21 වනදා අත්අඩංගුවට දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක විරාජ් මධුශංක අත්අඩංගුවට ගැනිමත් සමඟයි මෙම සිද්ධිය සම්බන්යෙන් සියලූ තොරතුරු අනාවරණය වුයේ.
ඒ අනුව සිදුකළ මුලික පරික්ෂණවලදී මෙම ඝාතන සිද්ධියට දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් 07 දෙනෙකු සම්බන්ධ ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මෙම නිලධාරින් 07 දෙනාගෙන් දෙදෙනෙකු වන දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා සහ එම ඒකකයේම උප පොලිස් පරීක්ෂක විරාජ් මධුශංක යන අය මේ වනවිට අත්අඩංගුවට ගෙන ලබන 27 දක්වා රක්ෂිත බන්ධන්ධනාගාර ගතවයි පසුවන්නේ.
අත්අඩංගුවට ගැනිමට සිටින අනෙක් නිලධාරීන් 05 දෙනා අතර උප පොලිස් පරීක්ෂකවරයෙක් සිටින අතර, සෙසු නිලධාරීන් පොලිස් සැරයන්වරුන් සහ කොස්තාපල්වරුන් වනවා.
මෙම පොලිස් නිලධාරීන් 05 දෙනා පසුගිය 21 වැනිදා බස්නාහිර පළාතේ කළුතර සහ පානදුර කොට්ඨාශ වෙත ස්ථාන මාරු ලබාදුන් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 15 දෙනාගේ කණ්ඩායමට ඇතුළත්.
ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරිමේ සිද්ධියට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ පස්වරුවේ විරෝධතාවක නිරතවූ අතර, මේ හේතුවෙන් පැය 6 ක පමණ කාලයක් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය සහ මුහුදුබඩ දුම්රිය මාර්ගය රත්ගම මංසන්ධියෙන් අවහිර වී තිබුණා.
පසුව විරෝධතාව ප්රදේශවාසිීන් විසින් අවසන් කරනු ලැබුවේ ගාල්ල සහ රත්ගම ප්‍රදේශ භාර කටයුතු කරන සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු එම ස්ථානයට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සිටින අනෙක් පුද්ගලයින් ද අත්අඩංගුවට ගන්නා බවට ලබාදුන් පොරොන්දුව මතයි.
මේ අතර, මෙම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ ඇඳුම් කිහිපයක් සහ ජංගම දුරකථන දෙකක කොටස් මාතර – වැල්ලමඩම ප්‍රදේශයේ පැරණි නිවසක පුළුස්සා වළ දමා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ සොයා ගනු ලැබුවා.
එම නිවස මීට පෙර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා නවාතැන් ගෙන සිටි ස්ථානයයි.
එමෙන්ම, මෙම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ බවට සැක කෙරෙන රුධිර සාම්පල, අස්ථි කොටස් සහ හිසකෙස්වල සාම්පල ඩී.එන්.ඒ. පරීක්ෂාව සඳහා හෙට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතයි.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනගේ සහ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේදී ඔවුන් මෙම සිද්ධියට ඍජුව සම්බන්ධ නොමැති බවට අනාවරණ වී තිබෙනවා.
මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් අක්මීමන – ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ දී පහර දී ඝාතනය කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ සිරුරු වලස්මුල්ල – මැදගම්ගොඩ – කනුමුල්දෙණිය රක්ෂිතයේදී ඞීසල් දමා පුළුස්සා ඇති බව හෙළිවුණා.
පසුගිය ජනවාරි 23 වනදා පොලිස් නිල ඇඳුමින් සැරසුණු පිරිසක් කළු පැහැති වෑන් රථයකින් සහ මෝටර් රථයකින් පැමිණ මෙලෙස පැහැරගෙන ගොස් තිබුණේ 31 හැවිරිදි රසීන් චින්තක සහ 33 හැවිරිදි මංජුල අසේල යන ව්‍යාපාරිකයන් දෙදෙනායි.