Gossips

රත්ගම සිද්ධියට දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති අදත් සී.අයි.ඩී.යේ

ගාල්ල – රත්ගමදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට දෙවන දිනටත් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් රෝහණ සහ එහි තවත් නිලධාරීන් දෙදෙනෙකු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණා.
පෙරවරු 10 ට පමණ ඔවුන් එම දෙපාර්තමේන්තුවට පැමිණි බවයි වාර්තාවන්නේ.
ඊයේ පෙරවරු 10 ට පමණද ප්‍රකාශයක් ලබාදීම සඳහා දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා සහ නිලධාරීන් දෙදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර, එහිදී ඔවුන්ගෙන් පැය 8 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගත් බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ඒකකයේ නියෝජ්‍ය ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයෙකු වූ කපිල නිශාන්ත ද සිල්වා අත්අඩංගුවට ගෙන මේ මස 27 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.
එමෙන්ම මෙම සිද්ධියත් සමඟ පොලිස් මූලස්ථානයට එම ඒකකය භාරව සිටි ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන ද මාරු කර යැවුණා.
රත්ගම – බූස්ස – රත්නඋදාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි රසීන් චින්තක සහ 33 හැවිරිදි මංජුල අසේල යන ව්‍යාපාරිකයන් අතුරුදහන් වී තිබුණේ පසුගිය මස 23 වනදායි.
මෙම අතුරුදන් වීම සිදුවී අදට දින 28ක් ගතවන නමුත් මෙතෙක් ඔවුන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නැහැ.