Gossips

රත්ගම විරෝධයෙන් පැය 6 ක් ගාලූපාර සහ දුම්රිය මග අවහිරයි – පිලිස්සූ දුරකථන සහ ඇදුම් කිහිපයකුත් සොයා ගැනේ

රත්ගමදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පිලිස්සීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් සිදුකළ විරෝධතාවය හේතුවෙන් පැය 6 ක කාලයක් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය සහ මුහුදුබඩ දුම්රිය මාර්ගය රත්ගම මංසන්ධියෙන් අවහිර වී තිබුණා.
පෙරවරු 10 ට මෙම විරෝධතාවය ආරම්භ වු අතර ඊට ප්‍රදේශවාසීන් මෙන්ම, මියගිය ව්‍යාපාරිකයින් දෙදෙනාගේ ඥාතීන් ද එක්ව සිටියා.
විරෝධතා පුවරු රැගත් ඔවුන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය රත්ගම මංසන්ධියෙන් අවහිර කර තිබුණේ කොටන් යොදා ගනිමින්.
එසේම, දුම්රිය මාර්ගය ද අවහිර කෙරුණු අතර, එම කාලය තුළ ධාවනය වූ දුම්රිය ප්‍රමාද වී තිබුණා.
පැය 6 ක කාලයක් පැවති මෙම විරෝධය, ප්‍රදේශවාසින් විසින් අවසන් කරනු ලැබුවේ ගාල්ල සහ රත්ගම ප්‍රදේශ භාර කටයුතු කරන සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු එම ස්ථානයට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සිටින අනෙකු පුද්ගලයින් ද අත්අඩංගුවට ගන්නා බවට ලබාදුන් පොරොන්දුව මතයි.
මේ අතර, රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කර පිලිස්සීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන සිදුකරමින් සිටිනවා.
එහිදී මාතර – වැල්ලමඩම ප්‍රදේශයේ පැරණි නිවසක තිබී මෙම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ බවට සැකකෙරෙන පුළුස්සා වල දමා තිබූ ඇදුම් කිහිපයක් සහ ජංගම දුරකථන දෙකක කොටස් සොයා ගෙන තිබෙනවා.
එම නිවස මීට පෙර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා නවාතැන් ගෙන සිටි ස්ථානයක්.
මේ අතර, ඊයේ සොයා ගත් මෙම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ බවට සැක කෙරෙන රුධිර සාම්පල, අස්ථි කොටස් සහ හිසකෙස්වල සාම්පල ඩී.එන්.ඒ. පරීක්ෂාව සඳහා ලබන සඳුදා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතයි.
මෙම සිද්ධියට පොලිස් නිලධාරීන් 7 දෙනෙකු සම්බන්ධ බවට මේ වන විට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
ඒ අතර පොලිස් කොස්තාපල්වරයෙකු සහ සැරයන්වරයෙකු ද සිටින බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනගේ සහ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේදී ඔවුන් මෙම සිද්ධියට ඍජුව සම්බන්ධ නොමැති බවට අනාවරණ වී තිබෙන බව ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් අක්මීමන – ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ දී පහර දී ඝාතනය කිරීමෙන් අනතුරුවයි ඔවුන්ගේ සිරුරු වලස්මුල්ල – මැදගම්ගොඩ – කනුමුල්දෙණිය රක්ෂිතයේදී ඞීසල් දමා පුළුස්සා ඇත්තේ.
පසුගිය ජනවාරි 23 වනදා පොලිස් නිල ඇඳුමින් සැරසුණු පිරිසක් කළු පැහැති වෑන් රථයකින් සහ මෝටර් රථයකින් පැමිණ මෙලෙස පැහැරගෙන ගොස් තිබුණේ 31 හැවිරිදි රසීන් චින්තක සහ 33 හැවිරිදි මංජුල අසේල යන දෙදෙනායි.
පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිද්ධියට සම්බන්ධ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා සහ එම ඒකකයේම උප පොලිස් පරීක්ෂක විරාජ් මධුශංක අත්අඩංගුවට ගත් අතර ඔවුන් දෙදෙනාම ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
මෙම සිදුවීමට අදාළව කෙරෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන හේතුවෙන් දකුණ පළාත භාර නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන ද පසුගිය 17 වැනිදා පොලිස් මූලස්ථානයට මාරු කළා.
මෙම සිද්ධිය හේතුවෙන් 25 දෙනෙකුගෙන් සමන්විත දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 15 දෙනෙකු බස්නාහිර පළාතේ කළුතර සහ පානදුර කොට්ඨාශ වෙත මාරු කර යැවීම ද විශේෂත්වයක්.