Gossips

රත්ගම විරෝධතාව අතරතුර ලැබුණු දුරකථන ඇමතුම ගැන CIDයට සැකයක්

රත්ගමදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පිලිස්සීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඊයේ පැවති උද්ඝෝෂණය අතරතුර ඥාතියෙකුට ලැබුණු දුරකථන ඇමතුම බන්ධනාගාර ගතව සිටින පුද්ගලයෙකු ලබා දී ඇති බවට සැක පළ කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
දුරකථන ඇමතුම ලබාදෙමින් අදාළ පුද්ගලයා පැහැරගත් ව්‍යාපාරිකයන් මුදාහැරීමට මුදල් ඉල්ලා සිටි බව සඳහන්.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ගාල්ල බන්ධනාගාර අධිකාරීවරයා, දැනට බන්ධනාගාර ගතව සිටින දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වාගේ ඥාතියෙකු බවට තොරතුරු ලැබී ඇති බවයි.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින අනෙක් පොලිස් නිලධාරීන් 05 දෙනා ද සොයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිටත් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
පසුගිය 21 වනදා අත්අඩංගුවට දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක විරාජ් මධුශංක අත්අඩංගුවට ගැනිමත් සමගයි මෙම සිද්ධිය සම්බන්යෙන් සියලූ තොරතුරු අනාවරණය වුයේ.
ඒ අනුව සිදුකළ මුලික පරික්ෂණවලදී මෙම ඝාතන සිද්ධියට දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් 07 දෙනෙකු සම්බන්ධ ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මොවුන්ගෙන් දෙදෙනෙකු වන දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා සහ එම ඒකකයේම උප පොලිස් පරීක්ෂක විරාජ් මධුශංක යන අය අත්අඩංගුවට ගෙන ලබන 27 දක්වා රක්ෂිත බන්ධන්ධනාගාර ගතකර තිබෙනවා.
අත්අඩංගුවට ගැනිමට සිටින අනෙක් නිලධාරීන් 05 දෙනා අතර උප පොලිස් පරීක්ෂකවරයෙක් සිටින අතර, සෙසු නිලධාරීන් පොලිස් සැරයන්වරුන් සහ කොස්තාපල්වරුන් වනවා.
මෙම පොලිස් නිලධාරීන් 05 දෙනා පසුගිය 21 වැනිදා බස්නාහිර පළාතේ කළුතර සහ පානදුර කොට්ඨාශ වෙත ස්ථාන මාරු ලබාදුන් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 15 දෙනාගේ කණ්ඩායමට ඇතුළත්.
පසුගිය ජනවාරි 23 වනදා පොලිස් නිල ඇඳුමින් සැරසුණු පිරිසක් කළු පැහැති වෑන් රථයකින් සහ මෝටර් රථයකින් පැමිණ මෙලෙස පැහැරගෙන ගොස් තිබුණේ 31 හැවිරිදි රසීන් චින්තක සහ 33 හැවිරිදි මංජුල අසේල යන ව්‍යාපාරිකයන් දෙදෙනායි.