Gossips

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ, තවත් අස්ථි කොටස් කිහිපයක් රස පරීක්ෂක වෙත

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ සිරුරු පිළිස්සූ බවට පැවසෙන වලස්මුල්ල – මැදගම්ගොඩ – කනුමුල්දෙණිය රක්ෂිිතයෙන් හමුවූ තවත් අස්ථි කොටස් කිහිපයක් රජයේ රස පරීක්ෂක වෙත යොමු කෙරුණා.
ඒ, වලස්මුල්ල මහේස්ත්‍රාත් සුරංග මුණසිංහ අද උදෑසන එම ස්ථානයට පැමිණ ඒවා පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි.
මීට පෙර ද එම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ බවට පැවසෙන අස්ථි කොටස් කිහිපයක් සොයා ගනු ලැබුවා.
එම ශරීර කොටස් ද ඞී.එන්.ඒ පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරුණා. පොලීසිය සඳහන් කළේ ඔවුන්ගේ සිරුරු පිළිස්සූ ස්ථානය ආසන්නයෙන් කුඩා දොළක් ගලාගෙන යන බැවින් ඇතැම් අස්ථි කොටස් ජලයෙහි පාවී ගොස් ඇති බවයි.
කෙසේ වෙතත්, එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා.
මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් අක්මීමන – ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ දී පහර දී ඝාතනය කිරීමෙන් අනතුරුවයි ඔවුන්ගේ සිරුරු වලස්මුල්ල – මැදගම්ගොඩ – කනුමුල්දෙණිය රක්ෂිතයේදී ඞීසල් දමා පුළුස්සා ඇති බවට අනාවරණ වුණේ.
එමෙන්ම ඔවුන් ඝාතනය කොට වලස්මුල්ල ප්‍රදේශයට පිළිස්සීම සඳහා රැගෙන ගිය 59 – 4557 දරණ කැබ් රථය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිළධාරීන් සේවය කරන දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ අවි ආයුධ සහිත ගිනි අවි ගබඩාවට මුද්‍රා තැබීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පියවර ගෙන තිබුණා.