රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 7 දෙනා සහ වලස්මුල්ල ප්‍රධාන අඩවි වන නිලධාරියා ලබන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, සැකකරුවන් ඊයේ රාත්‍රියේ ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර සැරයන්වරුන් දෙදෙනෙකු, උප පොලිස් පරීක්ෂකරුවන් දෙදෙනෙකු, පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු සහ වනජීවි නිලධාරියෙකු සිටිනවා.
මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ අපරාධ ඒකකයේ ස්ථානාධිපතිවරයා, පොලිස් නිලධාරින් 5 දෙනෙකු සහ වන සංරක්ෂණ නිලධාරියෙකු ඇතුළු 7 දෙනෙකු මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.
පොලිස් නිල ඇඳුමින් සැරසුණු පිරිසක් කළු පැහැති වෑන් රථයකින් සහ මෝටර් රථයකින් පැමිණ 31 හැවිරිදි රසීන් චින්තක සහ 33 හැවිරිදි මංජුල අසේල යන ව්‍යාපාරිකයන් දෙදෙනා පසුගිය ජනවාරි 23 වනදා මෙලෙස පැහැරගෙන ගොස් තිබුණා.
පසුව මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා අක්මීමන – ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළට රැගෙන ගොස් පහර දී ඝාතනය කර වලස්මුල්ල – කනුමුල්දෙණිය රක්ෂිතයේ ස්ථානයක ගෙන ගොස් පිළිස්සූ බවට ආණවරණය වුයේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි.
මේ අතර, නීතිවිරෝධී කැණීම්වලට අනුබල දීමේ චෝදනාව මත වව්නියාව – ඊච්චන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඊයේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
පසුගිය 17 වන දා වව්නියාව – ඊච්චන්කුලම ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත්ව තිබූ වළ දැමූ රත්‍රං ගොඩ ගැනීම සඳහා කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු වව්නියාව දූෂණ මර්දනය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
එහිදී එම ස්ථානයට ආසන්නව මෝටර් රථයක ඊච්චන්කුලම පොලීසියේ ස්ථානාධිපතිවරයා සහ එහි කොස්තාපල්වරයෙකු සිටි බවට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වුණා.
ඒ අනුවයි මෙම පොලිස් ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයා අත්අඩංගුවට ගනු ලැබුවේ.
අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වව්නියාව ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් 5 දෙනාගේ ජංගම දුරකථනවල දත්ත පරීක්ෂා කිරීමේදී ඔවුන් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුම් ලබාගෙන ඇති බවට තහවුරු වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරුවන් සතුව තිබූ මෝටර් රථයක්, දුරකථන 9ක් සහ කැණීම් සඳහා යොදා ගත් උපකරණ ද පොලිස් භාරයට ගනු ලැබුවා.