2019 වසරේ සිට 2021 දක්වා වන වසර දෙකක කාලය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව පත් කර ගැනීමේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී අද පැවැත්වුණා.
එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයින් වන පළාත්, දිස්ත්‍රික්, පරිපාලිත සහ අනුබද්ධ යන සංගම් මෙන්ම, ක්‍රීඩා සමාජවල ඡන්ද 147 කින් ඡන්ද 142ක්ම, භාවිත කර තිබීම විශේෂත්වයක්.
දකුණු පළාත් ක්‍රිකට් සංගමයට, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයට සහ කළුතර – කායවර්ධන කවයට මෙවර ක්‍රිකට් නිලවරණයේදී ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව අහිමිව යනු ලැබුවේ නීතිමය ගැටලූවක් හේතුවෙන්.
මේ අතර, නිලවරණය කල් යනු ඇති බවට බොහෝ දෙනා මත පළ කළේ මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන අය, සිය නාම යෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් නඩුවක් ගොනුකර තිබීම හේතුවෙන්.
කෙසේ වෙතත්, වග උත්තරකාර පාර්ශවයන් එකඟතාවයට පැමිණවීම නිසා එම නඩුව නිලවරණයට බාධාවක් වූයේ නැහැ.
ඒ අනුව, මෙවර නිලවරණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයට තුන්කොන් තරගයක් පැවතියත්, අවසන් මොහොතේ කේ.මතිවානන් සටනෙන් ඉවත් වූ අතර, එය පසුව දැවැන්ත සටනක් බවට පත්වුණා.
ඒ අනුව, සභාපති ධුරය සදහා තරග කළ ජයන්ත ධර්මදාස වැඩි ඡුන්ද 27 කින් පරාජයට පත් කළ ශම්මි සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස තේරි පත් වීම විශේෂත්වයක්.
අදාළ ඡන්ද විමසීමේදී ශම්මි සිල්වාට ඡන්ද 83 ක් හිමිවූ අතර, ජයන්ත ධර්මදාසට හිමිවූයේ ඡන්ද 56 ක් පමණයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුර දෙකක් සදහා සිව් දෙනෙක් තරග කළ අතර, එහි ඡන්ද 72 ක් ලබා ගත් අමාත්‍ය අර්ජුන රණතුංගගේ පරාජය කැපී පෙනුණා.
ඒ අනුව, ඡන්ද 82 ක් ලබා ගත් රවීන් වික්‍රමරත්න සහ ඡන්ද 80 ක් ලබා ගත් කේ.මතිවානන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව උපසභාපතිවරුන් ලෙස තේරී පත්වුණා.
ඉන් අනතුරුවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ධුරය සදහා ඡන්ද විමසීම සිදුකෙරුණේ.
එහිදී වැඩි ඡන්ද 51 කින් නිශාන්ත රණතුංග පරාජයට පත් කරමින් මොහාන් ද සිල්වා නව ලේකම්වරයා ලෙස තේරී පත්වුණා.
එමෙන්ම, භාණ්ඩාගාරික තනතුර සදහා ද ද්වන්ධ සටනක් පැවති අතර, ලසන්ත වික්‍රමසිංහ වැඩි ඡන්ද 69 කින් භාණ්ඩාගාරික ලෙස තේරී පත්වුණා.