Gossips

රට සංවර්ධනයට රාජ්‍ය දේපල විකිණිය යුතු නැහැ – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

වසර 30ක යුද්ධය අවසන් වීමෙන් පසු රට සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය දේපළ අලෙවි කිරීම අවශ්‍ය නොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
ජපානයේ කියෝඩා ප්‍රවෘත්ති ආයතනයේ මාධ්‍යවේදි ඩෝටා එන්ඩෝ විපක්ෂ නායකවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී යොමු කළ පැනයකට පිළිතුරු දෙමිනුයි මේ බව කියාසිටියේ.
මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ රට සංවර්ධනය කිරීමට රාජ්‍ය දේපළ අලෙවි කිරීමට අවශ්‍ය නොවන අතර රටේ සම්පත් උපයෝගී කර ගනිමින් රට සංවර්ධනය කළ හැකි බවයි.
වර්තමාන රජයට රට සංවර්ධනය කිරීමට නොව ජනතාවගේ කුසගින්න නිවීමට පවා නොහැකි තත්වයක් උදාවී ඇතැයි විපක්ෂ නායකවරයා මෙහිදී කියාසිටියා.
එමෙන්ම ජපානයේ ව්‍යාපාරිකයන්ට ආයෝජනය කළ හැකි හොඳම රට ශ්‍රී ලංකාව වන අතර ආයෝජනය කළ හැකි ප්‍රදේශය හම්බන්තොට ප්‍රදේශය බවයි ඔහු ජපාන මාධ්‍යවේදියාට පෙන්වා දුන්නේ.
දේශීය සම්පත් අලෙවි කිරීම තම ප්‍රතිපත්තිය නොවන බව ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ජපන් මාධ්‍යවේ දී ඩෝටා එන්ඩෝ හමුවේ වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ 84 වන ජන්ම දිනය නිමිත්තෙන් එම විහාරස්ථානයේ පැවති ලේ දන්දීමේ පිංකමකට සහ දානමය පිංකමකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අද එක්වුණා.
එමෙන්ම, 70 වන ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ පැවති උත්සවයකට ද විපක්ෂ නායකවරයා එක්වුණා.
ඊට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා, කතානායක කරූ ජයසූරිය සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ද එක්ව සිටියා.