Gossips

රට වෙනුවෙන්, ජනපති සියලූ පාර්ශවයන්ගේ සහය අපේක්ෂා කරයි

රටේ දුගීභාවය තුරන් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙලට සියලූ පාර්ශවයන්ගේ සහය අපේක්ෂා කරන බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර සපයන ජාත්‍යන්තර ආයතනවල නියෝජිතයන් සමග ඊයේ පැවති හමුවකදීයි.
ලෝක බැංකුව, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය, ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ආයතන රැසක නියෝජිතයන් ඊට එක්ව සිටියා.
සංවර්ධනය සහ සංහිදියාවේ අරමුණු ජය ගැනීමේ ජනාධිපතිවරයාගේ වෑයමට තම පූර්ණ සහය ලබාදෙන බවයි ඔවුන් එහිදී සදහන් කළේ.
රජය දැනට ක්‍රියාත්මක කරන සංවර්ධන සහ සංහිදියා වැඩපිළිවෙල පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ නියෝජිතයන්ට සාකච්ඡාවේදී කරුණු පැහැදිලි කළා.
මේ අතර, වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෲ අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ අභියාචනාධිකරණ විනිසුරු ගාමිණී රෝහන් අමරසේකර මෙහිදී වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස දිවුරුම් දුන් බවයි.
එසේම, ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ රාජ්‍ය තාන්ත්‍රිකයින් සිව් දෙනෙකු අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සිය අක්තපත්‍ර භාර දුන්නා.
මෙම නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරුන් පත්ව ඇත්තේ ස්ව්ට්සර්ලන්තය, මැලේසියාව, ගෝතමාලාව සහ සැම්බියාව වෙනුවෙන්.
එසේම, 30 වන මහවැලි ක්‍රීඩා උළලේ ගිනි සිළුව රැගත් රථ පෙරහර අද කොළඹ නිදහස් චතුරස‍්‍රය අසලින් ආරම්භ වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
හෝමාගම, පිටිපන කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ අද සිට දින 3 ක් පැවැත්වෙන සරු දිවියට කෘෂි සවියක් කෘෂිකර්ම සහ සත්ත්ව පාලන ප්‍රදර්ශනය ද ජනාධිපතිවරයා අද විවෘත කළා.