Gossips

රට යන්න බැසිල්ට අවසර

මාස තුනක කාලයක් ඇමරිකාවේ රැදී සිටීමට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට කොළඹ මහාධිකරණය අද අවසර ලබා දුන්නා.
වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා අගෝස්තු මස 10 වනදා සිට නොවැම්බර් මස 10 වනදා දක්වා කාලය තුල ඇමරිකාවේ රැදී සිටීමටයි කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර්. හෙයියන්තුඩුව අවසර ලබා දී ඇත්තේ.
දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 36කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කලැයි චෝදනාව මත කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
ඉදිරි නඩු කටයුතු සඳහා බැසිල් රාජපක්ෂ නොමැතිව නීතිඥවරයෙකු මාර්ගයෙන් නියෝජනය කරන්නේ නම් බැසිල් රාජපක්ෂ විදෙස් ගතවීම සම්බන්ධයෙන් විරෝධයක් නොමැති බව නීතිපතිවරයා දන්වා තිබෙනවා.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 36කට අධික මුදලක් වැය කරමින් ජී අයි බට මිලදී ගෙන පළාත් පාලන ආයතන වෙත බෙදාහැරියේ යැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට චෝදනා එල්ල වනවා.